74 : අල් මුද්දස්සිර් – පොරවා ගෙන සිටින්නා.

පරිච්ඡේදය: 74

මුළු වැකි ගණන : 56

මෙම පරිච්ඡේදය, “පොරවා ගෙන සිටින්නා,” (මුද්දස්සිර්) යනුවෙන් පටන් ගන්නා බැවින් එය මෙහි නම බවට පත් විය.

අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…

74 : 01 පොරවා ගෙන සිටින නැතැත්තේ,

74 : 02 නැගිට අවවාද කරන්න.

74 : 03 ඔබේ දෙවියන් උත්කෘෂ්ට කරවන්න.

74 : 04 ඔබේ වස්ත්‍ර පිරිසිදු කර ගන්න.

74 : 05 අපිරිසිදුකම පිළිකුල් කරන්න.

74 : 06 (මිනිසාගෙන්) වැඩියක් බලාපොරොත්තුවෙන් උපකාර නොකරන්න.

74 : 07 ඔබේ දෙවියන් වෙනුවෙන් ඉවසා සිටින්න.

74 : 08,09 සූර් පිඹිනු ලබන ඒ දිනය1 ඉතා දුෂ්කර දිනයක් ය.26

74 : 10 (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන අයට පහසු නොවේ.

74 : 11 (කිසිවකුගේ පිහිටක් නොමැතිව) මම පමණක් ම කවරෙකු නිර්මාණය කළෙමි ද ඔහු මා සමඟ හැර දමන්න.

74 : 12, 13 මම ඔහුට දීර්ඝ ධනයක් ද ඔහු සමඟ ම සිටින පිරිමි දරුවන් ද දුනිමි.26

74 : 14 ඔහු වෙනුවෙන් බොහෝ පිළියෙල කිරීම් කළෙමි.

74 : 15 පසුව ද මම වැඩි කළ යුතුයැයි ඔහු ආශා කරයි.

74 : 16 එසේ නොවේ. ඔහු මාගේ වැකි ප්‍රතික්ෂේප කරන්නෙක් ව සිටියි.

74 : 17 ඔහුට අසීරු වේදනාවක් පිරිනමන්නෙමි.

74 : 18 ඔහු (අපට එරෙහිව) සිතී ය. තීරණය කළේය.

74 : 19 එබැවින් ඔහු ශාප කරනු ලැබී ය. ඔහු තීරණය කළේ කෙසේ ද?

74 : 20 පසුව ද ඔහු ශාප කරනු ලැබී ය. ඔහු තීරණය කළේ කෙසේ ද?

74 : 21 පසුව ඔහු සිතීය.

74 : 22 පසුව ඔහු ඔරවා මුහුණ හකුළා ගත්තේය.

74 : 23 පසුව ඔහු පිටු පා උඩඟු විය.

74 : 24, 25 ”මෙය වශී කරන හූනියමක් මිස වෙන නැත. මෙය මිනිසෙකුගේ වචනයක් මිස වෙන නැතැ”යි ඔහු පවසයි.26

74 : 26 ඔහු සකර් (නැමැති ගින්නෙ)හි දැවෙන්නට සලස්වමි.

74 : 27 සකර් යනු කුමක් දැයි ඔබ දන්නේ කෙසේ ද?

74 : 28 එය කිසිවක් ඉතුරු නොකරයි. අත් නොහරියි.

74 : 29 සම (කර කොට) වෙනස් කරයි.

74 : 30 එය මත (සුර දූතවරු) දහ නව දෙනෙක් සිටිති.354

74 : 31 සුර දූතවරුන් මිස අන් කිසිවෙකු අපි නිරයේ මුරකරුවන් නොකළෙමු. ඔවුන්ගේ සංඛ්‍යාව (අප) ප්‍රතික්ෂේප කරන අයට පරීක්ෂණයක්484 කළෙමු. ධර්ම ග්‍රන්ථය දෙන ලද අය27 ස්ථීර කර ගනු පිණිසත් විශ්වාස කළ අය විශ්වාසය වැඩි කර ගනු පිණිසත් විශ්වාස කළ අය හා ධර්ම ග්‍රන්ථය දෙන ලද අය27 සැක නොකරනු පිණිසත් සිත්හි ලෙඩ තිබෙන අය හා (අප) ප්‍රතික්ෂේප කරන අය “අල්ලාහ් මෙමගින් කවර නම් ආදර්ශයක් අදහස් කරන්නේ දැ”යි පවසනු පිණිසත් (අපි මෙසේ කළෙමු). මෙලෙස අල්ලාහ් සිතන කෙනෙකු නොමග යවයි. ඔහු සිතන කෙනෙකු යහ මග යවයි. ඔබේ දෙවියන්ගේ සේනාව ඔහු හැර කිසිවෙක් නොදනිති. මෙය මිනිසාට අනුශාසනාවක් මිස වෙන නැත.

74 : 32 එසේ ය. සඳ මත දිවුරමි.379

74 : 33 පසු බසින රාත්‍රිය මත දිවුරමි.379

74 : 34 එළිය දෙන උදෑසන මත දිවුරමි.379

74 : 35 එය අති මහත් කරුණු වලින් එකකි.

74 : 36, 37 එය ඉදිරියට යෑමට හෝ පසුබට වීමට හෝ ප්‍රිය කරන මිනිසාට අවවාද කරන්නකි.26

74 : 38 සෑම කෙනෙක් ම තමා කළ දැයට ඇපයක් වෙයි.265

74 : 39 දකුණු පසින් සිටින අය හැර.

74 : 40, 41, 42 ඔවුහු ස්වර්ගයන්හි සිටිති. වරදකරුවන්ගෙන් “නුඹලා නිරයට සේන්දු කළේ කුමක්දැ”යි ඔවුහු අසති.26

74 : 43, 44 “අපි සලාතය ඉටු කරන්නෝව ද දුගීන්ට ආහාර සපයන්නෝව ද නොසිටියෙමු”යි ඔවුහු පවසති.26

74 : 45 “(නිෂ්ඵල ක්‍රියා වල) ගිලී සිටින අය සමඟ ගිලී සිටියෙමු.

74 : 46 විනිශ්චය දිනය1 අසත්‍ය යැයි සිතමින් සිටියෙමු.

74 : 47 ස්ථීර කටයුත්ත (මරණය) අප වෙත පැමිණෙන තෙක් (යැයි ද ඔවුහු පවසති).

74 : 48 එබැවින් මැදිහත් වන අයගේ මැදිහත් වීම්17 ඔවුන්ට ප්‍රයෝජනවත් නොවේ.

74 : 49 මේ අනුශාසනාවට පිටු පෑමට ඔවුනට කුමක් සිදු වී ද?

74 : 50, 51 ඔවුහු සිංහයෙක් දැක පලා යන බූරුවන් මෙන් සිටිති.26

74 : 52 එසේ ය. ඔවුන්ගෙන් සෑම මිනිසෙක් ම දිග හරින ලද පුස්තකයක් තමන්ට දෙනු ලැබිය යුතු යැයි ප්‍රිය කරයි.

74 : 53 එසේ නොවේ. නමුත් ඔවුහු පරලොව ගැන බිය නොවෙති.

74 : 54 එසේ නොවේ. මෙය අනුශාසනාවකි.

74 : 55 කැමති කෙනෙක් මෙයින් ඉගෙනුමක් ලැබිය හැකිය.

74 : 56 අල්ලාහ් සිතුවේ නම් මිස ඔවුහු ඉගෙනුම නොලබති. ඔහු බිය වනු ලැබීමට සුදුස්සා ය, ක්ෂමාවෙහි හිමිකරු ය.