67 : අල් මුල්ක් – බලය

අල් මුල්ක් – බලය

පරිච්ඡේදය: 67

මුළු වැකි ගණන : 30

මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ බලය අල්ලාහ් සතු වන බව සඳහන් වන බැවින් මෙයට ‘බලය’ යනුවෙන් නම් කරන ලදී.

අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…

67 : 01 කවරෙකුගේ අත් වස ම බලය තිබෙන්නේ ද ඔහු භාග්‍යවන්තයා ය. ඔහු සියලූ දේ කෙරෙහි බලසම්පන්නයෙකි.

67 : 02 නුඹලාගෙන් අලංකාරව ක්‍රියා කරන්නේ කවරෙක් දැයි පරීක්ෂා කරනු පිණිස484 මරණයත් ජීවිතයත් ඔහු නිර්මාණය කළේය. ඔහු අබිබවන්නා ය, ක්ෂමා කරන්නා ය.

67 : 03 ඔහු අහස් සත ස්තර වශයෙන් නිර්මාණය කළේය. අසීමිත කරුණාවන්තයාගේ නිර්මාණයෙහි කිසිඳු ප්‍රතිවිරුද්ධතාවක් ඔබ නොදකින්නෙහි ය. නැවතත් බලන්න. ඔබ කිසියම් දෝෂයක් දකින්නෙහි ද?

67 : 04 දෙවතාවක් බැල්ම යොමු කරන්න. වෙහෙසට පත් වී නින්දිත ව බැල්ම ඔබ වෙත ආපසු හැරෙන්නේ ම ය.

67 : 05 අපි පළමු අහස පහන් වලින් අලංකාර කළෙමු. ඒවා ෂෛතාන් වරුන්ට දමා ගසන ද්‍රව්‍යයන් කළෙමු.307 ඔවුනට නිරයේ වේදනාව පිළියෙල කර ඇත්තෙමු.

67 : 06 තම දෙවියන් ප්‍රතික්ෂේප කළ අයට නිරයේ වේදනාව ඇත. (එය) නරක නවාතැනකි.

67 : 07 ඔවුහු එහි දමනු ලබන විට එය රත් වෙමින් පවතිද්දී එයින් දරුණු ඝෝෂාවකට සවන් දෙති.

67 : 08 එය කෝපයෙන් පිපිරෙන්නට වෙර දරයි. සෑම සමූහයක් ම එහි දමනු ලබන සෑම විටෙක ම “අවවාද කරන්නෙක් නුඹලා වෙත නොපැමිණියේ දැ”යි එහි මුරකරුවෝ ඔවුන්ගෙන් අසති.

67 : 09 එයට ඔවුහු “එසේ ය. අවවාද කරන්නෙක් අප වෙත පැමිණියේ ය. නමුත් අපි අසත්‍ය යැයි සිතුවෙමු. අල්ලාහ් කිසි දැයක් පහළ කළේ නැත. නුඹලා මහා දුර් මාර්ගයක සිටින්නෙහුයැයි අපි කීවෙමු”යි පවසති.

67 : 10 “අපි සවන් දුනිමු නම් හෝ වටහා ගෙන සිටියෙමු නම් හෝ නිරාවාසීන්ගෙන් නොවන්නෙමු”යි ද ඔවුහු පවසති.

67 : 11 තව ද ඔවුහු තම වැරදි පිළිගනිති. එවිට නිරාවාසීන්ට විනාශයක් ම ය.

67 : 12 හුදෙකලාවේ තම දෙවියන්ට බිය වන අයට ක්ෂමාවක් ද විශාල කුලියක් ද ඇත.

67 : 13 නුඹලාගේ ප්‍රකාශ රහසින් පවසන්න. නැතහොත් එය ප්‍රසිද්ධියේ පවසන්න. ඔහු සිත්හි තිබෙන දැය ගැන සර්වඥයෙකි.

67 : 14 නිර්මාපකයා දැන නොගන්නේ ද? ඔහු තීක්ෂණ බුද්ධිමතා ය, ප්‍රවීණයා ය.

67 : 15 නුඹලාට පොළොව (භාවිත කිරීමට) පහසුවක් කළේ ඔහු ය. එබැවින් එහි විවිධ දිශා වලට ගමන් කරන්න. ඔහුගේ ආහාරය අනුභව කරන්න. යළි පිවිසුම ඔහු වෙත ම ය.

67 : 16 අහසේ සිටින්නා නුඹලා පොළොවෙහි වළලන්නට සැලසීම ගැන නුඹලා බියෙන් තොරව සිටින්නෙහු ද? එවිට (පොළොව) කම්පනය වන්නේ ය.

67 : 17 නැතහොත් අහසේ සිටින්නා නුඹලා කෙරෙහි ගල්වැසි වැස්සීම ගැන නුඹලා බියෙන් තොරව සිටින්නෙහු ද? මාගේ අවවාදය කෙබඳු දැයි එවිට නුඹලා දැන ගන්නෙහු ය.

67 : 18 ඔවුනට පෙර සිටි අය ද අසත්‍ය යැයි සිතූ හ. එවිට මාගේ ප්‍රති ප්‍රහාරය කෙබඳු වී ද?

67 : 19 ඔවුනට ඉහළින් පක්ෂීහූ (පියාපත්) දිග හරිමින් ද හකුළුවා ගනිමින් ද සිටින සැටි ඔවුහු නුදුටුවෝ ද? අසීමිත කරුණාවන්තයා මිස අන් කිසිවක් උන් පහතට නොවැටෙන සේ වළක්වාගෙන සිටියේ නැත.260 ඔහු සියලූ දේ බලන්නෙකි.488

67 : 20 අසීමිත කරුණාවන්තයා මිස නුඹලාට උදව් කරන නුඹලාට අයත් සේනාවක් සිටිත් ද? (ඔහු) ප්‍රතික්ෂේප කරන අය මුළාවක ම සිටිති.

67 : 21 ඔහු තම ආහාරය නතර කළේ නම් නුඹලාට ආහාර සපයන්නෙක් සිටිත් ද? නමුත් ඔවුහු සීමාව ඉක්මවීමෙහි ද පිළිකුලෙහි ද ගිලූණ හ.

67 : 22 මුණින් අතට වැටී සිටින්නා යහ මග ලත් කෙනෙක් ද? නැතහොත් සෘජු මාර්ගයේ සීරුවට ගමන් කරන්නා ද?

67 : 23 “නුඹලා නිර්මාණය කළේ ඔහු ය. නුඹලාට ශ්‍රවණය ද දෘෂ්ටියන් ද හදවත් ද ඔහු ඇති කළේය. නුඹලා කෘතඥ වන්නේ සුළු වශයෙන් යැ”යි පවසන්න.

67 : 24 “නුඹලා පොළොවෙහි විසුරුවා හැරියේ ඔහු ය. නුඹලා එක් රැස් කරනු ලබන්නේ ද ඔහු වෙතට යැ”යි පවසන්න.

67 : 25 “නුඹලා සත්‍යවන්තයින් නම් ඒ අවවාදය කවරදාදැ”යි ඔවුහු අසති.

67 : 26 “ඒ දැනුම ඇත්තේ අල්ලාහ් වෙත ම ය. මම පැහැදිලිව අවවාද කරන්නෙක් පමණි” යැයි (මුහම්මද්,) පවසන්න.

67 : 27 ඔවුන් එය සමීපව දකින විට (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ අයගේ මුහුණු නරක් වන්නේ ය. “මෙයයි, නුඹලා සොයමින් සිටි දේ” යැයි පවසනු ලැබේ.

67 : 28 “අල්ලාහ් මා ද මා සමඟ සිටින අය ද විනාශ කළේ නම් හෝ අපට දයාව දැක්වූයේ නම් හෝ පීඩාකාරී වේදනාවකින් (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ අය ආරක්ෂා කරන්නේ කවරෙක් ද? යන්නට පිළිතුරු දෙන්නැ”යි අසන්න.

67 : 29 “අසීමිත කරුණාවන්තයා ඔහු ය. ඔහු ගැන විශ්වාස කළෙමු. ඔහු කෙරෙහි ම රඳා පවතින්නෙමු. පැහැදිලි දුර් මාර්ගයක සිටින්නේ කවරෙක් දැයි නුඹලා දැන ගන්නෙහුයැ”යි පවසන්න.

67 : 30 “නුඹලාගේ ජලය සිඳී ගියේ නම් ගලා යන ජලය නුඹලාට ගෙන එන්නේ කවරෙක් ද? යන්නට පිළිතුරු දෙන්නැ”යි අසන්න.