66 : අත් තහ්රීම් – තහනම් කිරීම

පරිච්ඡේදය: 66

මුළු වැකි ගණන : 12

සර්ව බලධාරී දෙවියන් අනුමත කළ දෙයක් මුහම්මද් නබි (සල්) තුමාණන් තහනම් කළ බව මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ සඳහන් වන බැවින් “තහනම් කිරීම” යනුවෙන් නම් කරන ලදී.

අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…

66 : 01 නබිවරය, අල්ලාහ් ඔබට අනුමත කළ දැය ඔබේ භාර්යාවන්ගේ තෘප්තිය තකා ඔබ තහනම් කර ගන්නේ ඇයි? අල්ලාහ් ක්ෂමා කරන්නෙකි, අසම සම දයාවන්තයෙකි.272

66 : 02 අල්ලාහ් නුඹලාගේ දිවුරුම් වලට ප්‍රතිකර්මය නියම කර ඇත. නුඹලාගේ අධිපති අල්ලාහ් ය. ඔහු සර්වඥයා ය, ප්‍රඥාවන්තයා ය.

66 : 03 මේ නබිවරයා තම භාර්යාවන්ගෙන් කෙනෙකුට රහසිගතව පුවතක් කී විට, ඒ භාර්යාව ඒ පුවත (තවත් කෙනෙකුට) පවසද්දී අල්ලාහ් එය නබිවරයාට හෙළි දරව් කළේය. එවිට නබිවරයා ඉන් සමහරක් (ඒ භාර්යාවට) ගෙන හැර දක්වා සමහරක් ගෙන හැර නොදැක්වීය. ඔහු එය දැනුම් දුන් විට “මෙය ඔබට දැනුම් දුන්නේ කවරෙක් දැ”යි භාර්යාව ඇසුවා ය. එයට “සර්වඥ ද ප්‍රඥාවන්තයා ද (වන අල්ලාහ්) යැ”යි නබිවරයා පිළිතුරු දුන්නේ ය.258

66 : 04 (නබිවරයාගේ භාර්යාවන් වන) නුඹලා දෙදෙනා අල්ලාහ් වෙත පාප ක්ෂමාව අයැදුවොත් (එය ඉතා යහපත් ය). නුඹලා දෙදෙනාගේ සිත පෙරළී තිබුණි. ඔහුට එරෙහිව නුඹලා දෙදෙනා එකිනෙකාට උදව් කර ගන්නෙහු නම් ඔහුගේ උදව්කරුවා අල්ලාහ් ය. ජිබ්රීල් ද විශ්වාස කළ අයගෙන් සත් පුරුෂයෝ ද සුර දූතවරු ද ඉන් පසු (මොහුට) උදව්කරුවෝ ය.

66 : 05 ඔහු නුඹලා දික්කසාද කළේ නම් නුඹලාට වඩා යහපත් මුස්ලිම් වන විශ්වාස කරන, අවනත වන, ශිෂ්ට වන, නැමදුම් කරන, උපවාසය රකින, වැන්දඹුවන් හා කන්‍යාවියන් භාර්යාවන් ලෙස ඔහුගේ දෙවියන් මාරු කරන්නට පුළුවන.

66 : 06 විශ්වාස කළ අයවලූනි, නුඹලාත් නුඹලාගේ පවුලේ අයත් නිරා ගින්නෙන් ආරක්ෂා කර ගන්න. එහි ඉන්ධන වනුයේ මිනිසුන් හා ගල් ය. එයට ඉහළින් දරුණු හා කෘර සුර දූතවරු සිටිති. ඔවුහු අල්ලාහ් තමන්ට අණ කළ දැයට පටහැනි නොවෙති. අණ වන ලද දැය ඉටු කරති.

66 : 07 (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන අයවලූනි, අද නිදහසට කරුණු නොකියන්න. නුඹලාට කුලිය දෙනු ලබන්නේ නුඹලා කරමින් සිටි දැයට ය(යි පවසනු ලැබේ).

66 : 08 විශ්වාස කළ අයවලූනි, අල්ලාහ් වෙත මිශ්‍ර නොවූ ලෙසින් පාප ක්ෂමාව අයැදින්න. නුඹලාගේ දෙවියන් නුඹලාගේ පාපයන් නුඹලාගෙන් මකා දැමිය හැකිය. නුඹලා ස්වර්ගයන්හි ඇතුළු කරවයි. ඒවා යටින් ගංගා ගලා බසියි. අල්ලාහ් මේ නබිවරයා (මුහම්මද්) ද ඔහු සමඟ සිටින විශ්වාස කළ අය ද අවමන් නොකරන දින1 ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරියෙන් ද දකුණු පසින් ද ඉක්මනින් විහිදී යයි. “අපේ දෙවියනි, අපගේ ආලෝකය අපට සම්පුර්ණ කරනු මැනව` අපට ක්ෂමා කරනු මැනව` ඔබ සියලූ දේ කෙරෙහි බලසම්පන්නයෙක්යැ” යි ඔවුහු පවසති.

66 : 09 නබිවරය, (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළවුන් ද කුහකයින් ද සමඟ සටන් කරන්න.53 ඔවුනට දරුණු වන්න. ඔවුන්ගේ නවාතැන නිරයයි. එය නරක නවාතැනකි.

66 : 10 අල්ලාහ් (තමා) ප්‍රතික්ෂේප කරන අයට නූහ්ගේ භාර්යාව ද ලුත්ගේ භාර්යාව ද ආදර්ශයක් ලෙස ගෙන හැර දක්වයි. ඒ දෙදෙනො ම අපේ යහපත් වහලූන් දෙදෙනෙකුගේ භාර්යාවන් වූහ. ඒ ස්ත්‍රීන් දෙදෙනා එදෙදෙනාට ද්‍රෝහිකම් කළහ. එබැවින් ඔවුහු අල්ලාහ්ගෙන් ඒ දෙදෙනා සුළු වශයෙන්වත් ආරක්ෂා නො කළහ. “දෙදෙනා ම නිරයට පිවිසෙන අය සමඟ එක්ව පිවිසෙන්නැ”යි පවසන ලදී.

66 : 11 “මාගේ දෙවියනි, ස්වර්ගයෙහි ඔබ වෙත මට නිවසක් ඉඳි කරනු මැනව` ෆිර්අවුන්ගෙන් ද ඔහුගේ වධ හිංසා වලින් ද මා ආරක්ෂා කරනු මැනව` අපරාධකාරී පිරිසගෙන් මා ආරක්ෂා කරනු මැනව`”යි ෆිර්අවුන්ගේ භාර්යාව කී නිසා විශ්වාස කළ අයට අල්ලාහ් ඇය ආදර්ශයක් ලෙස පවසයි.

66 : 12 ඉම්රාන්ගේ දුව මර්යම් ද (දෙවියන් ආදර්ශයක් කළේය). ඇය තම පතිවත රැක ගත්තා ය. අපි ඇය වෙත අපේ ප්‍රණය පිම්බෙමු.90 ඇය තම දෙවියන්ගේ වචන ද155 ඔහුගේ ධර්ම ග්‍රන්ථ ද සත්‍ය කළා ය. ඇය අවනත වී කටයුතු කරන කෙනෙක ද වූවා ය.