64 : අත්තකාබුන් – මහා අලාභය

අත්තකාබුන් – මහා අලාභය

පරිච්ඡේදය: 64

මුළු වැකි ගණන : 18

මෙම පරිච්ඡේදයේ නව වන වැකියේ අසත් පුරුෂයින් අලාභ ලබන දිනය ගැන සඳහන් වන බැවින් එය ම මෙහි නම බවට පත් විය.

අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…

64 : 01 අහස් හි තිබෙන දැය ද පොළොවෙහි තිබෙන දැය ද අල්ලාහ් සුවිශුද්ධ කරයි. පාලනය ඔහුට ම හිමිය. සියලූ ප්‍රශංසා ඔහුට ම හිමිය. ඔහු සියලූ දේ කෙරෙහි බලසම්පන්නයෙකි.

64 : 02 නුඹලා නිර්මාණය කළේ ඔහු ය. නුඹලා අතර (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නෝ ද සිටිති. නුඹලා අතර විශ්වාස කළ අය ද සිටිති. අල්ලාහ් නුඹලා කරන දේ දෙස බලන්නෙකි.488

64 : 03 ඔහු අහස් ද පොළොව ද සාධාරණ හේතුවක් මත නිර්මාණය කළේය. ඔහු නුඹලාට හැඩරුව දී නුඹලාගේ හැඩරුව ලස්සන කළේය. යළි පිවිසුම ඔහු වෙතම ය.

64 : 04 අහස්හි තිබෙන දැය ද පොළොවෙහි තිබෙන දැය ද ඔහු දනියි. නුඹලා සඟවන දැය ද හෙළිදරව් කරන දැය ද ඔහු දනියි. අල්ලාහ් සිත්හි තිබෙන දැය ගැන සර්වඥයෙකි.

64 : 05 පෙර සිටි (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ අයගේ පුවත නුඹලා වෙත නොපැමිණියේ ද? ඔවුහු තම කටයුතු වල ඵල විපාක අත් වින්ඳ හ. ඔවුන්ට පීඩාකාරී වේදනාවක් ඇත.

64 : 06 මෙයට හේතුව ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැහැදිලි සාධක ගෙන එන්නෝ ව සිටියදීත් “අපට මග පෙන්වන්නේ එක් මිනිසෙක් දැ”යි ඔවුහු පවසමින් (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කර නොසලකා හැරීම ය. අල්ලාහ් ඔවුන් නොසලකා හැරියේ ය. අල්ලාහ් අවශ්‍යතා වලින් තොර කෙනෙකි,485 ප්‍රශංසනීය කෙනෙකි.

64 : 07 “තමන් පණ ගන්වනු ලබන්නේ නැතැ”යි (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නෝ සිතති. “එසේ නොවේ. මාගේ දෙවියන් මත දිවුරමි. නුඹලා පණ ගන්වනු ලබන්නෙහු ය. නුඹලා කළ දේ ගැන පසුව නුඹලාට දැනුම් දෙනු ලැබේ. මෙය අල්ලාහ්ට පහසු යැ”යි පවසන්න.

64 : 08 එබැවින් අල්ලාහ් ගැන ද ඔහුගේ දූතයා ගැන ද අපි පහළ කළ ආලෝකය ගැන ද විශ්වාස කරන්න. අල්ලාහ් නුඹලා කරන දේ ගැන ප්‍රවීණයෙකි.

64 : 09 එක් රැස් කරන දින1 ඔහු නුඹලා එක් රැස් කරයි. එයයි, අලාභය ගෙන දෙන දිනය.1 අල්ලාහ් ගැන විශ්වාස කොට යහපත් ක්‍රියා කරන්නාගේ පාපයන් ඔහු ඔහුගෙන් පහ කරයි. ඔහුව ස්වර්ගයන්හි ඇතුළු කරවයි. ඒවා යටින් ගංගා ගලා බසියි. එහි සදහට ම සදාකාලීනව සිටිති. මෙයයි, ඉමහත් ජයග්‍රහණය.

64 : 10 (අප) ප්‍රතික්ෂේප කොට අපේ වැකි අසත්‍ය යැයි සිතන අය නිරාවාසීහූ වෙති. ඔවුහු එහි සදාකාලීනව සිටිති. එය නරක නවාතැනකි.

64 : 11 අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිඳු විපතක් සිදු නොවන්නේ ම ය. අල්ලාහ් ගැන විශ්වාස කරන්නාගෙ සිතට ඔහු යහ මග පෙන්වයි. අල්ලාහ් සියලූ දේ ගැන සර්වඥයෙකි.

64 : 12 අල්ලාහ්ට අවනත වන්න. මේ දූතයාට අවනත වන්න. නුඹලා පිටු පෑවොත් අපේ දූතයා කෙරෙහි (පැවරී) ඇත්තේ පැහැදිලිව ප්‍රකාශ කිරීම පමණි.81

64 : 13 අල්ලාහ් හැර නැමදීමට සුදුස්සා අන් කිසිවෙක් නැත. විශ්වාස කළ අය අල්ලාහ් කෙරෙහි ම රඳා පැවතිය යුතුය.

64 : 14 විශ්වාස කළ අයවලූනි, නුඹලාගේ භාර්යාවන් අතර ද නුඹලාගේ දරුවන් අතර ද නුඹලාට සතුරෝ සිටිති. ඔවුන්ගෙන් ප්‍රවේශම් වන්න. නුඹලා වරද ඉවසා නොසලකා හැර ක්ෂමා කළහොත් අල්ලාහ් ක්ෂමා කරන්නෙකි, අසම සම දයාවන්තයෙකි.

64 : 15 නුඹලාගේ ධන සම්පත ද දරු සම්පත ද පරීක්ෂණයකි.484 ඉමහත් කුලියක් ඇත්තේ අල්ලාහ් වෙත ය.

64 : 16 නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය වන්න. සවන් දෙන්න. අවනත වන්න. (යහපත් මාර්ගයේ) වියදම් කරන්න. එය නුඹලාට යහපත් ය. තම සිතෙහි මසුරුකමින් මිදෙන අය ජයග්‍රාහකයෝ ය.

64 : 17 නුඹලා අල්ලාහ්ට ලස්සන ණයක්75 දුන්නෙහු නම් ඔහු එය නුඹලාට කිහිප ගුණයකින් ම වැඩියෙන් පිරිනමයි. නුඹලා ක්ෂමා කරයි. අල්ලාහ් කෘතඥ වන්නෙකි, ඉවසන්නෙකි.6

64 : 18 ඔහු ගුප්ත දැය ගැනත් ප්‍රත්‍යක්ෂ දැය ගැනත් සර්වඥයා ය, අබිබවන්නා ය, ප්‍රඥාවන්තයා ය.