54 : අල් කමර් – චන්ද්‍රයා

පරිච්ඡේදය: 54

මුළු වැකි ගණන : 55

මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ ‘චන්ද්‍රයා දෙබෑ විය’ යනුවෙන් සඳහන් වන බැවින් මෙයට ‘චන්ද්‍රයා’ යැයි නම් තබන ලදී.

අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…

54 : 01 යුගාන්ත මොහොත1 ළං විය. චන්ද්‍රයා ද දෙබෑ විය.422

54 : 02 ඔවුහු සාධකයක් දුටුවහොත් “මෙය අඛණ්ඩව සිදු වන හූනියමක් යැ”යි පවසා නොසලකා හරිති.

54 : 03 ඔවුහු අසත්‍ය යැයි සිතා චිත්තාභිලාෂයන් අනුගමනය කරති. සියලූ කටයුතු වාර්තා වේ.

54 : 04,05 බිය උපදවන සුළු පුවතක් ද උසස් තත්ත්වයකින් යුත් ප්‍රඥාව ද ඔවුන් වෙත පැමිණ ඇත. (ඔවුනට) අවවාදයන් ඵලක් නොවීය.26

54 : 06,07 එබැවින් ඔවුන් නොසලකා හරින්න. (ඔවුන්) පිළිකුල් කරන දැයකට කැඳවන්නා කැඳවන දින1 ඔවුන්ගේ දෘෂ්ටියන් පහතට හෙළී තිබෙනු ඇත. විසිරී සිටින පළගැටියන් මෙන් ඔවුහු සොහොන් වළ වලින් බැහැර වෙති.26

54 : 08 ඔවුහු කැඳවන්නා දෙසට වහා පැමිණෙති. “මෙය දුෂ්කර දිනයක් යැ”යි1 (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන අය පවසති.

54 : 09 ඔවුනට පෙර නූහ්ගේ ජන සමාජය අසත්‍ය යැයි සිතූහ. ඔවුහු අපගේ වහලා බොරුකාරයෙක් යැයි පැවසූ හ. උන්මත්තකයෙක් යැයි ද පැවසූ හ. ඔහු පළවා හරිනු ලැබීය.

54 : 10 “මම පරාජයට පත් වූයෙමි. එබැවින් ඔබ මට උදව් කරනු මැනවැ” යි ඔහු තම දෙවියන් වෙත ප්‍රාර්ථනා කළේය

54 : 11 එවිට වැක් කෙරෙන ජලයෙන් අහසේ දොරටු විවෘත කළෙමු.

54 : 12 පොළොවෙහි උල්පත් ගලා යෑමට සැලැස්වීමු. කලින් සැලසුම් කළ පරිදි ජලය එකතු විය.

54 : 13 ලෑලි හා ඇණ වලින් යුත් දැයක් (නැවක්) මත අපි ඔහු නැංවීමු.

54 : 14 එය අපේ අධීක්ෂණය යටතේ යාත්‍රා කළේය. මෙය (තම ජන සමාජයෙන්) ප්‍රතික්ෂේප කරන ලද තැනැත්තා (වන නූහ්)ට හිමි කුලියයි.

54 : 15 එය සාධකයක් ලෙස හැර දැමුවෙමු. ඉගෙනුම ලබන්නෙක් සිටිත් ද?222

54 : 16 මාගේ වේදනාව ද මාගේ අවවාදයන් ද කෙබඳු වී ද?

54 : 17 අපි මේ කුර්ආනය වටහා ගැනීමට පහසු කර ඇත්තෙමු. ඉගෙනුම ලබන්නෙක් සිටිත් ද?

54 : 18 ආද් ජන සමාජය ද අසත්‍ය යැයි සිතූ හ. මාගේ වේදනාව ද මාගේ අවවාදයන් ද කෙබඳු වී ද?

54 : 19 අඛණ්ඩව දුර්භාග්‍ය වූ දිනක381 ඔවුනට එරෙහිව දරුණු කුණාටුවක් අපි එවීමු.

54 : 20 මුලිනුපුටා දමන ලද රට ඉඳි ගස් මෙන් එය මිනිසුන් උදුරා දැමීය.

54 : 21 මාගේ වේදනාව ද මාගේ අවවාදයන් ද කෙබඳු වී ද?

54 : 22 අපි මේ කුර්ආනය වටහා ගැනීමට පහසු කර ඇත්තෙමු. ඉගෙනුම ලබන්නෙක් සිටිත් ද?

54 : 23 සමූද් ජන සමාජය ද අවවාදයන් අසත්‍ය යැයි සිතූහ.

54 : 24 අපගෙන් වූ මිනිසෙකු ද, අපි අනුගමනය කළ යුත්තේ? එසේ කළහොත් දුර් මාර්ගයක ද දුෂ්කරතාවකට ද අපි පත් වන්නෙමු.

54 : 25 “අප අතුරෙන් මොහුට පමණක් අනුශාසනාව දෙන ලද්දේ ද? නැත. මොහු ගර්වයට පත් මහා බොරුකාරයෙක් යැ”(යි ඔවුහු පැවසූ හ).

54 : 26 ගර්වයට පත් මහා බොරුකාරයා කවරෙක් දැයි හෙට දැන ගනිති.

54 : 27 අපි ඔවුනට පරික්ෂණයක්484 වශයෙන් ඔටු දෙනකු එවන්නෙමු. එබැවින් ඔබ ඔවුන් අධීක්ෂණය කරන්න. ඉවසීමෙන් සිටින්න.

54 : 28 “ජලය ඔවුන් අතර බෙදා ගත යුතුය. සෑම (ජලය) පානය කිරීමේ අයිතියක් ම ආරක්ෂා විය යුතුයැයි ඔවුනට දැනුම් දෙන්නැ”(යි අපි සාලිහ් නබිවරයාට කීවෙමු).

54 : 29 ඔවුහු තම සඟයා කැඳවූහ. ඔහු (ඔටු දෙන) අල්ලා පාද නහර කපා දැමීය.

54 : 30 මාගේ වේදනාව ද මාගේ අවවාදයන් ද කෙබඳු වී ද?

54 : 31 අපි ඔවුනට එරෙහිව එකම එක් හඬක් එවීමු. වහාම ඔවුහු ගාලක පිදුරු කුණු රොඩු මෙන් වූහ.

54 : 32 අපි මේ කුර්ආනය වටහා ගැනීමට පහසු කර ඇත්තෙමු. ඉගෙනුම ලබන්නෙක් සිටිත් ද?

54 : 33 ලුත්ගේ ජන සමාජය ද අවවාදයන් අසත්‍ය යැයි සිතූහ.

54 : 34 අපි ඔවුනට එරෙහිව ගල් වැස්සක් පහළ කළෙමු. ලුත්ගේ පවුලේ අය හැර අපි ඔවුන් රාත්‍රී කාලයේ අවසන් කොටසේ දී ආරක්ෂා කළෙමු.

54 : 35 මෙය අපේ අනුග්‍රහයකි. අපි මෙසේ කෘතඥ වන අයට කුලී පිරිනමන්නෙමු.

54 : 36 ඔහු අපේ ග්‍රහණය ගැන ඔවුනට අවවාද කළේය. ඔවුහු අවවාදයන් ගැන සැක කළහ.

54 : 37 ඔවුහු ඔහුගේ අමුත්තන් අයහපත් ක්‍රියාවට ඇද්ද හ. වහාම අපි ඔවුන්ගේ ඇස් අන්ධ කළෙමු. “මාගෙ වේදනාව ද අවවාදයන් ද රස විඳින්නැ”යි (පැවසීමු).

54 : 38 අළුයම් කාලයේ දී සදාතනික වේදනාව ඔවුන් හසු කළේ ය.

54 : 39 “මාගේ වේදනාවන් ද අවවාදයන් ද රස විඳින්නැ”(යි පවසන ලදී).

54 : 40 අපි මේ කුර්ආනය වටහා ගැනීමට පහසු කර ඇත්තෙමු. ඉගෙනුම ලබන්නෙක් සිටිත් ද?

54 : 41 ෆිර්අවුන්ගේ පිරිස වෙත ද අවවාදයන් පැමිණියේ ය.

54 : 42 ඔවුහු අපේ සියලූ සාධක අසත්‍ය යැයි සිතුහ. එබැවින් අපි ඔවුන් බලසම්පන්න අබිබවන්නාගේ ග්‍රහණයෙන් හසු කළෙමු.

54 : 43 නුඹලා සමඟ සිටින (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන අය ඔවුනට වඩා ශ්‍රේෂ්ඨයෝ ද? නැතහොත් නුඹලාට ලේඛනයෙන් 157 ව්‍යතිරේකයක් තිබේ ද?

54 : 44 “අපි සියල්ලෝ ම (දෙවියන්ගෙන්) උදව් ලැබූ අය වෙති”යි ඔවුහු පවසන්නෝ ද?

54 : 45 මේ පිරිස පරාජය කරනු ලබති. ඔවුහු පිටු පා පලා යති.306

54 : 46 තව ද යුගාන්ත මොහොත1 ඔවුනට අවවාද කරන ලද මොහොතයි. යුගාන්ත මොහොත1 ඉතා කම්පාවට පත් කරවන්නකි. ඉතා තිත්ත වූවකි.

54 : 47 වරදකරුවෝ දුර් මාර්ගයක ද මානසික ව්‍යාකූලත්වයක ද සිටිති.

54 : 48 ඔවුහු නිරයේ මුණින් අතට හෙළනු ලබන දින “නිරයේ වේදනාව රස විඳින්නැ”(යි පවසනු ලැබේ).

54 : 49 අපි සියලූ දේ ප්‍රමාණිකව නිර්මාණය කර ඇත්තෙමු.

54 : 50 අපේ අණ ඇසි පිය හෙළන්නාක් මෙන් එකම එක් අණකි.

54 : 51 අපි නුඹලා වැනි බොහෝ අය විනාශ කර ඇත්තෙමු. ඉගෙනුමක් ලබන්නෙක් සිටිත් ද?

54 : 52 ඔවුන් කළ සෑම දෙයක් ම ලේඛන වල ඇත.

54 : 53 කුඩා හා විශාල සියල්ලක් ම වාර්තා වී ඇත.

54 : 54 (දෙවියන්ට) බිය බැතිමත් අය ස්වර්ගයන්හි ද ගංගාවෙහි ද සිටිති.

54 : 55 සර්ව බලධාරී රජු වෙත සත්‍ය වූ වාසස්ථානයක (ඔවුහු සිටිති).