53 : අන් නජ්මු – තරුව

අන් නජ්මු – තරුව

පරිච්ඡේදය: 53

මුළු වැකි ගණන : 62

මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ ‘නජ්මු’ යන වචනය සඳහන් වන බැවින් මෙසේ නම් කරන ලදී.

අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…

53 : 01 තරුව බැස යන විට ඒ මත දිවුරමි.379

53 : 02 නුඹලාගේ මිත්‍රයා (මුහම්මද්) මග වරදවා ගත්තේ ද නැත. නොමග ගියේ ද නැත.

53 : 03 ඔහු චිත්තාභිලාෂයට අනුව කථා නොකරයි.

53 : 04 එය (ඔහු කථා කරන දැය) දැනුම් දෙනු ලබන පුවතක් මිස වෙන නැත.

53 : 05,06,07 ලස්සන පෙනුමක් ඇති බලවන්තයා (ජිබ්රීල්) එය උගන්වයි.492 ඔහු යටි අහසේ සිටිය දී ස්ථායී විය.26

53 : 08 පසුව ඔහු පහළ බැස ළං විය.

53 : 09 එය (ළං වීම) දුන්නක කොන් දෙකක ප්‍රමාණයෙන් හෝ ඊටත් වඩා ළං ව තිබුණි.

53 : 10 ඔහු තම වහලාට දැනුම් දෙන දැය දැනුම් දුන්නේ ය.

53 : 11 ඔහු දුටු දැයෙහි ඔහුගේ සිත බොරු නොපැවසීය.

53 : 12 ඔහු දුටු දැය ගැන නුඹලා ඔහු සමඟ තර්ක කරන්නෙහු ද?482

53 : 13, 14 සිද්රතුල් මුන්තහාව අසල ඔහු තවත් වතාවක්362 ඔහු බසිනු දිටීය.26

53 : 15 ස්වර්ගය නමැති නවාතැන ඇත්තේ එහි ය.

53 : 16, 17 ඒ මසන් ගස වැසිය යුතු දේ වැසූ විට ඔහුගේ බැල්ම වෙන’තකට යොමු වූයේ නැත. ඉක්මවා ගියේ ද නැත.26

53 : 18 ඔහු තම දෙවියන්ගේ මහා සාධකයන් දුටුවේ ය.362

53 : 19, 20 ලාත්, උස්සා ගැන ද වෙනත් තුන් වන මනාත් ගැන ද නුඹලා සිතුවෙහු ද?26

53 : 21 නුඹලාට පිරිමියා හා ඔහුට ගැහැනිය ද?

53 : 22 එසේ නම්, මෙය අසාධාරණ බෙදීමකි.

53 : 23 ඒවා හුදෙක් ම නම් මිස වෙන නැත. ඒ නම් තැබුවේ, නුඹලාත් නුඹලාගේ මුතුන් මිතනුත් ය. මේ ගැන අල්ලාහ් කිසිඳු සාධකයක් පහළ කළේ නැත. අනුමානය හා චිත්තාභිලාෂය මිස අන් කිසිවක් ඔවුහු අනුගමනය නො කළහ. ඔවුනට ඔවුන්ගේ දෙවියන් වෙතින් යහ මග පැමිණ ඇත.

53 : 24 තමා ප්‍රිය කරන දේ (සියල්ල) මිනිසාට තිබේ ද?

53 : 25 පරලොව ද මෙලොව ද අල්ලාහ්ට ම හිමිය.

53 : 26 අහස්හි කොපමණ සුර දූතවරු සිටිත් ද? තමන් සිතූ කෙනෙකුට අල්ලාහ් අවසර දී තෘප්තිමත් වූ කෙනෙකු වෙනුවෙන් මිස (අනුන් වෙනුවෙන්) ඔවුන්ගේ මැදිහත් වීම17 සුළු වශයෙන්වත් ප්‍රයෝජනවත් නොවේ.

53 : 27 පරලොව ගැන විශ්වාස නොකරන අය සුර දූතයින්ට ස්ත්‍රී නාමයන් තබති.

53 : 28 ඔවුනට මේ ගැන කිසිඳු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස (අන් කිසිවක්) අනුගමනය නොකරති. අනුමානය සත්‍යයට එරෙහිව කිසිත් ප්‍රයෝජනවත් නොවෙයි.

53 : 29 මෙලොව ජීවිතය මිස (අන් කිසිවක්) නොපතා අපේ අනුශාසනාවට පිටු පාන්නා නොසලකා හරින්න.

53 : 30 මෙයයි, ඔවුන්ගෙන් දැනුමෙහි සීමාව. තම මාර්ගයෙන් වරද ගියේ කවරෙක් ද? යහ මග ලදදේ කවරෙක් ද? යන්න ඔබේ දෙවියන් හොඳින් දනියි.

53 : 31 අහස්හි තිබෙන දැය ද පොළොවෙහි තිබෙන දැය ද අල්ලාහ්ට ම හිමිය. අයහපත කරමින් සිටි අයට ඔවුන් කරමින් සිටි දැය හේතු කොට ගෙන ඔහු දඬුවම් කරයි. යහපත කරමින් සිටි අයට අලංකාර කුලියක් පිරිනමයි.

53 : 32 මහා පාපයන් ද අශිෂ්ට සම්පන්න ක්‍රියා වලින් ද යමෙක් වැළකෙන්නේ ද ඔබේ දෙවියන් බොහෝ සෙයින් ක්ෂමා කරන්නෙකි. ඔහු නුඹලා පොළොවෙන් නිර්මාණය කළ විට ද නුඹලාගේ මව් වරුන්ගේ ගර්භයන් හි කළල වශයෙන් නුඹලා සිටි විට ද ඔහු නුඹලා ගැන හොඳින් දනියි. එබැවින් නුඹලා ම නුඹලා පිවිතුරු යැයි නොසිතන්න. (දේව) බිය බැතිමත් තැනැත්තා කවරෙක් දැයි මැනවින් දන්නේ ඔහු ය.

53 : 33 පිටු පාන්නා දුටුවෙහි ද?

53 : 34 ඔහු ස්වල්පයක් ම පිරිනැමීය. (අනුන්) දෙන දැය ද වැළැක්වීය.

53 : 35 ඔහු වෙත ගුප්ත දැය ගැන දැනුම තිබී ඔහු (එය) දකින්නේ ද?

53 : 36, 37, 38, 39

මූසා, පරිපූර්ණව ඉටු කළ ඉබ්‍රාහීම් යනාදීන්ගේ ලේඛනයන්හි “කෙනෙක් තවත් කෙනෙකුගේ බර උසුලන්නේ නැත, මිනිසාට ඔහු උත්සාහ කළ දැය මිස වෙන නැත” 265 යනුවෙන් තිබීම ඔහුට දැනුම් දෙනු නොලැබුවේ ද?26

53 : 40 ඔහුගේ ඉපැයීම පසුව (පරලොවේ දී) පෙන්වනු ලැබේ.

53 : 41 පසුව ඔහු පූර්ණව කුලිය දෙනු ලබයි.

53 : 42 සේන්දු වීම ඔබේ දෙවියන් වෙත ම ය.

53 : 43 සිනාසීමට සලස්වන්නේ ද හඬවන්නේ ද ඔහු ම ය.

53 : 44 මරණයට පත් කරවන්නේ ද ජීවය දෙන්නේ ද ඔහු ම ය.

53 : 45, 46 පිට කරන ලද ශුක්‍රාණුවකින් ස්ත්‍රී, පුරුෂ නමැති ජෝඩුව නිර්මාණය කළේ ඔහු ම ය.26)506

53 : 47 නැවත බිහි කිරීම ද ඔහු සතු ය.

53 : 48 පොහොසතෙක් කොට තෘප්තිමත් කරවන්නේ ද ඔහු ය.

53 : 49 ෂිඅරාගේ දෙවියන් ද ඔහු ය.321

53 : 50, 51, 52 පෙර සිටි ආද් හා සමූද් ජන සමාජය ද මෙයට පෙර නූහ්ගේ ජන සමාජය ද ඉතුරු නොකර විනාශ කළේ ද ඔහු ය. ඔවුහු මහත් සෙයින් අපරාධ කර සීමාව ඉක්මවන්නෝ වූහ.26

53 : 53 ඔහු (ලුත්ගේ ජන සමාජය වන) උඩු යටිකුරු කරන ලද ග්‍රාමවාසීන් ද විනාශ කළේය.

53 : 54 එය වට කර ගත යුතු දේ වට කර ගත්තේ ය.

53 : 55 ඔබේ දෙවියන්ගේ අනුග්‍රහයන්ගෙන් කවරක් ගැන ඔබ සැක කරන්නෙහි ද?

53 : 56 මෙය පෙර වූ අවවාදයන්ගෙන් එක් අවවාදයකි.

53 : 57 ළං විය යුතු මොහොත ළං විය.

53 : 58 අල්ලාහ් හැර එය හෙළිදරව් කරන්නෙක් නැත.

53 : 59 නුඹලා විස්මයට පත් වන්නේ මේ පුවත ගැන ද?

53 : 60 නුඹලා නොහඬා සිනා සෙන්නෙහු ද?

53 : 61 නුඹලා නොසලකා හරින්නෝව ද සිටින්නෙහු ය.

53 : 62 අල්ලාහ්ට ම සජ්දා කර නමදින්න.396