පහළ වූ ඉතිහාසය

නබි නායක (සල්) තුමාණන් පරිශුද්ධ වූ අල් කුර්ආනය සම්පාදනය කළේ නැත. එය පිරිනැමුවේ සර්ව බලධාරී දෙවියන්ය. එසේ නම් එය එතුමාණන්ට පහළ වූයේ කෙසේ ද යන ප්‍රශ්නය සඳහා වූ පිළිතුරත් දැන ගැනීම අතිශයින් ම වැදගත් වේ.

නබි නායක (සල්) තුමාණන්ට පෙර බොහෝ ධර්ම දූතවරු එවනු ලැබූහ.

පළමු මිනිසා වන ආදම් තුමා පටන් නබි නායක (සල්) තුමාණන් දක්වා ධර්ම දූතවරු කොපමණ දෙනෙක් පැමිණ ඇත්දැයි පරිශුද්ධ වූ අල් කුර්ආනය ප්‍රකාශ නොකළත් බොහෝ ධර්ම දූතවරු එවනු ලැබූ බව ප්‍රකාශ කරයි.

නබි නායක (සල්) තුමාණන්ට පෙර එවන ලද ධර්ම දූතවරු සීමිත භාෂාවකට අයත් පිරිසකට හෝ කුලයකට අයත් පිරිසකට හෝ ජන සමාජයකට අයත් පිරිසකට හෝ එවනු ලැබූහ. ඔවුනොවුන්ගේ භාෂා වලින් ජනතාව යහ මග යොමු කිරීමට උත්තරීතර දෙවියන් ඔවුනට පිරිනැමූ දේව පණිවුඩ ධර්ම ග්‍රන්ථයක් යැයි කියනු ලැබේ.

නබි නායක (සල්) තුමාණන්ට පෙර පැවති සියලූ භාෂා වලින් ම ධර්මදූතවරු එවනු ලැබූහ.

(අල් කුර්ආන් 14:4 බලන්න)

මෙසේ එවන ලද ධර්ම දූතවරුන් අතුරින් අවසාන දූතයාණන් නබි නායක (සල්) තුමාණන් ය. එතුමාණන්ට පසුව ලෝක විනාශය දක්වා ධර්ම දූතවරු එවනු ලබන්නේ නැත.

(නබි නායක (සල්) තුමාණන් අවසාන නබිවරයාණන් වන බවට සාධක 4:79, 4:170, 7:158, 9:33, 10:57, 10:108, 14:52, 21:107, 22:49, 25:1, 33:40, 34:28, 62:3 යනාදී වැකි වල දැකගත හැකිය.)

අනෙක් ධර්ම දූතවරු මෙන් සීමිත ජන සමාජයකට හෝ සීමිත භාෂාවකට හෝ අයත් පිරිසට පමණක් නොව, මුළු ලොවට ම ධර්ම දූතයෙක් වශයෙන් නබි නායක (සල්) තුමාණන් එවනු ලැබූහ.

එතුමාණන්ට පිරිනමන ලද කුර්ආනය නමැති ධර්ම ග්‍රන්ථයට පසුව ලෝකයේ වෙනත් ධර්ම ග්‍රන්ථ කිසිවක් පහළ නොවන බැවින් පරිශුද්ධ වූ අල් කුර්ආනය අවසාන ධර්ම ග්‍රන්ථය යැයි කියනු ලැබේ.

අරාබි භාෂාවෙන් පහළ වූයේ ඇයි?

මුළු ලෝකයාට ම මග පෙන්වීමට පහළ වූ ධර්ම ග්‍රන්ථය අරාබි භාෂාවෙන් පහළ විය යුත්තේ ඇයිදැයි සමහරු සිතිය හැකිය.

මෙයට හේතුව අරාබි භාෂාව, දේව භාෂාව යන්න හෝ එය ලෝකයේ පවතින උසස් ම භාෂාව යන්න හෝ නොවේ. ඉස්ලාම් පවසන්නේ සියලූ භාෂාවන් එක සමාන වන බවයි. ඉස්ලාමීය ප්‍රතිපත්තිය වනුයේ භාෂාව පදනම් කරගෙන කිසිවෙක් උසස් පහත් බවක් ආරෝපණය නොකළ යුතු බවයි.

එසේ නම් අරාබි භාෂාවෙන් මෙම ධර්ම ග්‍රන්ථය පහළ වූයේ ඇයි?

ඉස්ලාම් දහම අරාබිවරුන්ට පමණක් නොව, ලොවේ සිටින සියලූ භාෂා කථා කරන අය වෙනුවෙන් පහළ වූ ජීවන සැලැස්මකි.

විවිධ භාෂා කථා කරන ජනතාවට ජීවන සැලැස්මක් ලබා දී මාර්ගෝපදේශකයෙක් එවන විට දී එවිය හැක්කේ කවර හෝ එක් භාෂාවකින් පමණි.

ඒ ජීවන ක්‍රමය කවර භාෂාවකින් පැවතියත් වෙනත් භාෂාවක් කථා කරන අය ඒ ගැන ප්‍රශ්න නොනගා සිටින්නේ නැත.

කිසිවෙකු විසින් කිසිඳු ප්‍රශ්නයක් ඇසිය නොහැකි අයුරින් එයට කිසිඳු පිළියමක් සිදු කළ නොහැකිය.

අරාබි භාෂාව වෙනුවට සිංහල භාෂාවෙන් නබි නායක (සල්) තුමාණන් එවනු ලැබුවේ නම් මෙම ප්‍රශ්නය ම වෙනත් භාෂාවන් කථා කරන ජනතාව ද නොඅසා සිටින්නේ නැත.

එබැවින් ලොවේ එක්සත්කම අරමුණු කරගෙන කරනු ලබන ක්‍රියාවන්හි භාෂා හැඟීමට ප්‍රමුඛත්වය ලබා දී ජාත්‍යන්තර එකමුතුව කඩා බිඳ නොදැමිය යුතුය.

අපි ජීවත් වන ශ්‍රී ලංකාවේ විවිධ භාෂා කථා කරන ජනතාව ජීවත් වෙති. නමුත් අප රටට ජාතික ගීයක් සිංහල භාෂාවෙන් සම්පාදනය කර, එය සියලූ භාෂා කථා කරන අය පිළිගෙන සිටින්නෙමු. මෙසේ පිළිගෙන සිටීමෙන් සිංහල භාෂාව උසස් භාෂාවක් යනුවෙන් හෝ අනෙක් භාෂාවන් පහත් මට්ටමෙන් වූ භාෂාවන් යනුවෙන් හෝ අදහස් නොවේ.

රටේ එක්සත්කම වෙනුවෙන් භාෂා හැඟීම මදක් පසෙක දමා වෙනත් භාෂා කථා කරන ජනතාව පවා ජාතික ගීතයේ දී සිංහල භාෂාව පිළිගනිති.

එමෙන් ම ලෝක එක්සත්කම වෙනුවෙන් ද ලෝකවාසී සියලූ ජනතාව එක ම යහ මගක් වෙතට යොමු විය යුතු පිණිස ද සීමිත කරුණු කිහිපයක දී පමණක් භාෂා හැඟිම පසෙක දැමීමෙන් මානව සංහතියට කිසිඳු හානියක් සිදු වන්නේ නැත. ජාත්‍යන්තර සමඟිය නමැති ඉමහත් යහපතක් ද ඉන් හට ගැනේ.

ජාත්‍යන්තර නායකයෙක් එවිය හැක්කේ කිසියම් වූ භාෂාවකින් ය යන පදනම අනුව ය, නබි නායක (සල්) තුමාණන් දන්නා එතුමාණන්ගේ මව් බසින් පරිශුද්ධ වූ අල් කුර්ආනය පහළ වූයේ. ලෝකයේ ම උසස් හා විශිෂ්ට භාෂාව යැයි කියමින් පරිශුද්ධ වූ අල් කුර්ආනය අරාබි බසින් පහළ වූයේ නැත.

(අරාබි භාෂාව පමණක් ධර්ම ග්‍රන්ථ පහළ වන භාෂාව නොවන බව දැන ගැනීමට 227 වන සටහන බලන්න.)

පරිශුද්ධ වූ අල් කුර්ආනය පහළ වූයේ කෙසේ ද?

නබි නායක (සල්) තුමාණන් ධර්මදූතයෙක් ලෙස පත් කරන ලද්දේ කවදා ද කෙසේ ද යන්නත් කුර්ආනය පහළ වූයේ කෙසේ ද යන්නත් අපි දැන ගැනීම අතිශයින් ම ප්‍රයෝජනවත් වනු ඇත.

නබි නායක (සල්) තුමාණන්ගේ නම මුහම්මද් ය. මෙතුමාණන් වත්මන් සවුදි අරාබියාවේ පිහිටා තිඛෙන මක්කාව නමැති නගරයේ ක්‍රි.ව. 570 දී උපත ලැබූහ.

එතුමාණන් මව් කුසේ සිටින විට පියා අභාවප්‍රාප්ත වූ අතර කුඩා වියේ දී ම මව ද අභාවප්‍රාප්ත වූවා ය. දෙමාපියන් අහිමි වීමෙන් පසුව එතුමාණන්ගේ පිය පාර්ශවයේ සීයා වූ අබ්දුල් මුත්තලිබ් නැමැත්තා තම භාරකාරත්වය යටතේ එතුමාණන් හදා වඩා ගත්තේ ය.

ඔහුගේ මරණයෙන් පසුව නබි නායක (සල්) තුමාණන් තම මහප්පා වන අබූ තාලිබ්ගේ භාරකාරත්වය යටතේ හැදී වැඩී තරුණ වියට පත් වූහ.

කුඩා අවධියේ සිටිය දී එතුමාණන් එළුවන් දක්කා ඇත. යම් තරමක පැහැදීමකට පත් වූ පසුව තම මහප්පා සමඟ එක් වී වෙළහෙළඳාම්හි නිරත වූහ.

මෙම වෙළහෙළඳාම් හේතු කොටගෙන නබි නායක (සල්) තුමාණන් නොයෙකුත් පිට පළාත් වලට ගමන් කළහ.

තම 25 වන වියේ දී තමන්ට වඩා වැඩිමහල් වූ කදීජා නමැති වැන්දඹුව විවාහ කර ගත්හ.

එතුමිය එකල ජන සමාජයේ මහා ධනවතියක් වූ බැවින් නබි නායක (සල්) තුමාණන් තම 25 වන වියේ දී ම අති මහත් ධනවතෙක් බවට පත් වූහ.

පරිශුද්ධ වූ අල් කුර්ආනය පහළ වූ කාල වකවානුව

නබි නායක (සල්) තුමාණන්ගේ කාලයේ දී ජීවත් වූ ජනතාව බහු දේව විශ්වාසිකයන් ව සිටියහ. ප්‍රතිමාවලට වන්දනාමාන සිදු කළහ.

1. නොයෙකුත් මිත්‍යා විශ්වාසයන්හි ගිලී සිටියහ.

2. නිරුවත් ව දෙවියන් නමස්කාර කළහ.

3. ගැහැනු දරුවන් ඉපදීම නිග්‍රහයක් සේ සැලකූ අතර ගැහැනු දරුවන් ඉපදුණහොත් ඔවුන්ව පණ පිටින් වැළලීමටත් පුරුදුව සිටියහ.

4. කල්දේරම් පිටින් මත් පැන් පානය කළහ.

5. සරාගී සැණකෙළිවල ගිලී සිටියහ.

6. කාන්තාවන් තිරිසනුන් සේ සැලකූහ.

7. පියා මරණයට පත් වීමෙන් පසු පියාගේ භාර්යාව පුතා උපයෝගී කර ගැනීම සුලබ ව සිදු විය.

8. කුල භේදය බහුලව පැතිරී ගොස් තිබුණි.

9. නබි නායක (සල්) තුමාණන් ඉපදුණු කුලය – කුරෛෂි කුලය – ඉතා උසස් කුලය යැයි ද අනෙක් අය ඉතා පහත් අය යැයි ද සම්මතයක් ඇති කර ගෙන සිටිය හ.

අරාබි භාෂාව කථා කරන අය පමණක් මනුෂ්‍යයයින් යැයි ද අනෙක් භාෂා කථා කරන අය අජමිවරු (සතා සිවුපාවුන්) යැයි ද ප්‍රකාශ කරන තරමට ඔවුහු අරාබි භාෂා මමත්වයෙන් මත් වී සිටියහ.

මිනිස් ඝාතන සිදු කිරීම ඉතා සාමාන්‍ය වරදක් සේ පවා ඔවුනට හැඟුණේ නැත. සුළු හබයකටත් මිනිස් ඝාතන සිදු කළහ.

තම පවුලේ කෙනෙක් ඝාතනය කරනු ලැබුවහොත් ඒ සඳහා ඔවුන් පළි නොගෙන සිටින්නේ නැත. තමා විසින් ඝාතකයාගෙන් පළි ගැනීමට නොහැකි වූයේ නම් තම උරුමක්කරුවන්ට ඒ වගකීම පැවරූ හ. පරම්පරා දහයකට පසුව හෝ ඝාතකයාගේ පවුලේ කෙනෙකු ඝාතනය කර ගණන් හිලව් කළහ.

මෙවැනි තත්ත්වයන් දැක පිළිකුල් කළ නබි නායක (සල්) තුමාණන් තම ජන සමාජයේ ක්‍රියා කලාප නිවැරදි නොවේ යැයි පැහැදිලිව ම අවබෝධ කර ගත්හ.

එබැවින් තම හතළිස් වියේ දී මක්කාවෙන් පිටත පිහිටා තිබූ “හිරා” නමැති ගුහාවට ගොස් හුදෙකලාවේ සිටිමින් සිතන්නට පටන් ගත් හ.

දින ගණනාවකට අවශ්‍ය කරන ආහාර පිළියෙල කර ගෙන ගුහාවේ ම නතර විය. ආහාර නිම වූ විගස ම නිවසට පැමිණ ආහාර පිළියෙල කර ගෙන නැවතත් ගුහාවට ගිය හ.

මෙසේ ගුහාවේ සිටිය දී අහස හා පොළොව ස්පර්ශ කරන තරමට දැවැන්ත රුවක් සහිත කෙනෙකු සිට ගෙන සිටිනු දුටූහ. ඔහු ජිබ්රීල් නමැති සුර දූතයා විය.

ඔහු නබි නායක (සල්) තුමාණන් තදින් වැළඳගෙන “පාරායණා කරනු” යනුවෙන් ප්‍රකාශ කළ විට තමන් පාරායණා කිරීමට නොදන්නේ යැයි නබි නායක (සල්) තුමාණන් පැවසූහ.

නැවතත් ඔහු “පාරායණා කරනු” යනුවෙන් ප්‍රකාශ කළ විට දී එවිටත් නොදන්නෙමියි පිළිතුරු දුන්හ. පසුව ඔහු නබි නායක (සල්) තුමාණන් තදින් වැළඳගෙන “මැවුම්කරු වන ඔබේ දෙවියන්ගේ නාමයෙන් පාරායණා කරනු” යනුවෙන් පටන් ගන්නා වචන කිහිපයක් ප්‍රකාශ කළේ ය.

(මෙය 96 වන පරිච්ඡේදයේ පළමු වැකි පහ වශයෙන් සඳහන් වී ඇත.)

නබි නායක (සල්) තුමාණන් ධර්මදූතයෙක් වශයෙන් පත් කරනු ලැබීමත් පළමු දේව පණිවුඩය පහළ වීමත් සිදු වූයේ මෙලෙස ය. නමුත් නබි නායක (සල්) තුමාණන් කම්පනයට පත් වී බිය වූහ. තම භාර්යාව වෙත පැමිණ මේ ගැන පැවසූහ.

“දෙවියන් ඔබ අත් හැර දමන්නේ නැත. ඔබ ජනතාවට උදව් උපකාර කරන්නෙහි ය. දුගී දුප්පත් ජනතාවට වැඩි වැඩියෙන් පිරිනමන්නෙහිය. ඥාතීන්ට ද සලකන්නෙහිය. එබැවින් අල්ලාහ් ඔබව අත් හැර දමන්නේ නැත” යනාදී වශයෙන් එතුමාණන්ගේ භාර්යාව වූ කදීජා (රලි) තුමිය එතුමාණන්ට සැනසිලි බස් කීවා ය.

නමුත් තම සැනසිලි වදන් ප්‍රමාණවත් තරම් ප්‍රයෝජනවත් නොවූ බව දුටු කදීජා (රලි) තුමිය තම ඥාතියෙකු වන “වරකා බින් නව්ෆල්” නැමැත්තා වෙත නබි නායක (සල්) තුමාණන් කැටුව ගියා ය. මොහු පෙර ධර්ම ග්‍රන්ථ ගැන දැන ඉගෙන කිතු දහම වැළඳගෙන සිටියේ ය.

“ඔබ දෙවියන්ගේ ධර්ම දූතයෙක් වශයෙන් පත් කරනු ලැබ ඇත. ඔබේ ජන සමාජය ඔබව ගමෙන් නෙරපා දමන තත්ත්වයක් උදා වනු ඇත. මන්දයත් ධර්ම දූතවරු දේව පණිවුඩ ප්‍රචාරය කරන විට සිදු වී ඇත්තේ මෙය යි” යනුවෙන් ඔහු පවසා විශ්වාසය තර කරවීය. (මූලාශ්‍රය : බුහාරි 2)

මෙසේ ආරම්භ වූ දේව පණිවුඩයන් හි සම්ප්‍රාප්තිය ටිකෙන් ටික අවස්ථානුකූලව වසර 23 ක් පුරා අඛණ්ඩව පහළ විය.

පරිශුද්ධ වූ අල් කුර්ආනය යනු වසර 23 ක කාලයක් පුරාවට ටිකෙන් ටික පහළ වූ දේව පණිවුඩයන්හි එකතුවකි.

පරිශුද්ධ වූ අල් කුර්ආනය නබි නායක (සල්) තුමාණන් පහළ වූයේ කෙසේ ද යන්න ගැන තවදුරටත් දැන ගැනීමට 492 වන සටහන කියවන්න.