එක් රැස් කළ ඉතිහාසය

නබි නායක (සල්) තුමාණන්ගේ සිතේ…

පරිශුද්ධ වූ අල් කුර්ආනය නබි නායක (සල්) තුමාණන්ට පහළ වූයේ කෙසේ දැයි පෙරවදනේ විග්‍රහ කළෙමු. පරිශුද්ධ වූ අල් කුර්ආනය එක් රැස් කර සංරක්ෂණය කරන ලද්දේ කෙසේ දැයි දැන් බලමු.

නබි නායක (සල්) තුමාණන්ට පරිශුද්ධ වූ අල් කුර්ආනය විටින් විට පහළ වන විට එතුමාණන් එය තම මතකයේ රඳවා ගත් හ.

මෙසේ මතකයේ රඳවා ගැනීමට අන් අය මෙන් එතුමාණන් ද මුල් අවධියේ දී අධික උනන්දුවක් දැක් වූහ. එය අනවශ්‍ය වන බව පරිශුද්ධ වූ අල් කුර්ආනය මගින් එතුමාණන්ට ප්‍රකාශ කරන ලදී.

“නැවත නැවත පාරායණා කර කට පාඩම් කිරීමට ඔබ උත්සාහ නොකරනු එය ඔබේ හදවතේ එක් රැස් කිරීම අපගේ වගකීමක් යැ”යි පරිශුද්ධ වූ අල් කුර්ආනය ප්‍රකාශ කළේ ය.

(අල් කුර්ආන් 75:16-19, 20:114)

තවත් වැකියක (87: 6) “අපි ඔබට පාරායණා කර පෙන්වන්නෙමු. ඔබ අමතක නොකරන්නෙහි ය” යනුවෙන් ද සර්ව බලධාරී දෙවියන් වන අල්ලාහ් සහතික විය.

එබැවින් ජිබ්රීල් නැමති සුර දූතයා බොහෝමයක් වැකි ප්‍රකාශ කළත්, ප්‍රකාශ කළ විගස ම කැසට් පටයක පටිගත වන්නාක් මෙන් නබි නායක (සල්) තුමාණන්ගේ හදවතේ ඒවා රැ‍ඳෙන්නට විය.

විශ්වාධිපති දෙවියන් තම ධර්මදූතයා වශයෙන් එතුමාණන් පත් කර තිඛෙන බැවින් එතුමාණන්ට මේ විශේෂ සුදුසුකම පිරිනැමීය. එබැවින් දෙවියන් වෙතින් පැමිණි පණිවුඩයන්හි කිසිවක් නබි නායක (සල්) තුමාණන් අමතක වීමකින් අත් හැර දමා තිබිය හැකියැයි කිසිසේත් ම සිතිය නොහැකිය.

පරිශුද්ධ වූ අල් කුර්ආනය නබි නායක (සල්) තුමාණන්ගේ මනසේ මෙසේ සංරක්ෂණය විය.

නබි මිත්‍රවරුන්ගේ සිත් හි…

නබි නායක (සල්) තුමාණන් ප්‍රථමයෙන් කවර ජන සමාජයක් හමු වූයේ ද ඒ ජන සමාජය කියවීමට හා ලිවීමට නොදන්නා, අකුරු දැනුමක් නොමැති ජන සමාජයක් ව ද ඒ අතර ම දැඩි මතක ශක්තියක් තිඛෙන ජන සමාජයක් ව ද සිටිය හ.

පොදුවේ ලිවීමේ හැකියාව නොමැති අයට වැඩි වශයෙන් මතක ශක්තියක් තිබීම අදටත් අපි දකින්නෙමු. අප විසින් යමක් සංරක්ෂණය කර තැබිය හැක්කේ මතක ශක්තියෙන් පමණක් ය යන බල කිරීමට ලක් වීම හේතු කොට ගෙන මෙවැනි අයගේ මතක ශක්තිය උත්තේජනය වී වැඩි වන බව සියල්ලන්ගේ ම පිළිගැනීමයි.

කියවීමට හා ලිවීමට නොදන්නා ඒ ජන සමාජයේ ජනතාව අතුරින් තමන් පිළි ගත් අය වෙත නබි නායක (සල්) තුමාණන් තමන්ට එම එම අවස්ථා වල දී පහළ වූ වැකි ප්‍රකාශ කළ හ. ප්‍රකාශ කළ විගස ම එම ජනතාව එම පණිවුඩ කට පාඩම් කර ගත් හ.

පරිශුද්ධ වූ අල් කුර්ආනය සමස්තයක් වශයෙන් එක ම දිනක දී හෝ කෙටි කාලයක් තුළ දී හෝ පහළ වී ඇත්නම් එම ජන සමාජයට එය කට පාඩම් කර ගැනීමට නොහැකි වී තිබිය හැකිය.

මෙම කුර්ආනය වසර 23 ක කාලයක් පුරා ටිකෙන් ටික පහළ වූ නිසා කට පාඩම් කර ගැනීමට ඉතා පහසු වී තිබිය හැකිය. වසර 23 ක් සඳහා දින 8000 කටත් වැඩියෙන් ඇත. වැකි 6000 කින් පමණ යුත් පරිශුද්ධ වූ අල් කුර්ආනය දිනපතා වැකියක් බැගින් කට පාඩම් කළහොත් දින 8000 කින් සරලව මුළු කුර්ආනය ම කට පාඩම් කළ හැකිය.

තව ද කට පාඩම් කළ දේ අමතක නොකර සිටීම සඳහා නබි නායක (සල්) තුමාණන් ඉස්ලාම්හි විශිෂ්ට සැලසුමක් ද ක්‍රියාත්මක කළ හ. ඒ සැලැස්ම නම් “මුස්ලිම්වරු දිනපතා පවත්වන දේව යාච්ඤාව වන පංච කාල සලතයන්හි ද ඊට අමතරව තමා විසින් ම කැමැත්තෙන් ඉටු කරන සලාතයන්හි ද පරිශුද්ධ වූ අල් කුර්ආනයේ කොටස් කිහිපයක්වත් පාරායණා කළ යුතුය” යන්නයි.

පරිශුද්ධ වූ අල් කුර්ආනය කට පාඩම් කළ මුස්ලිම්වරු එය අමතක නොකර සිටීමට මෙම සැලසුම ඉමහත් රුකුලක් විය. තව ද කට පාඩම් නොකළ අයත් සලාතයේ දී පාරායණා කළ යුතු පිණිස පරිශුද්ධ වූ අල් කුර්ආනය කට පාඩම් කරන තත්ත්වයක් උදා කිරීමට මෙය පිටිවහල් විය.

තව ද නබි නායක (සල්) තුමාණන් තමන්ට පහළ වූ වැකි මහත් පරිශ්‍රමයක් දරා ජනතාවට සේන්දු කළ හ.

ඉස්ලාමය පිළිගත් ජනතාව විසු සෑම පෙදෙසකට ම කුර්ආනය උගන්වා දීම සඳහා එතුමාණන් තම මිත්‍රවරු කිහිප දෙනෙක් ම යැවූ හ. පරිශුද්ධ වූ අල් කුර්ආනය සිත්හි සංරක්ෂණය කිරීමට මෙය තව දුරටත් පිටිවහල් විය.

මේ හැර සෑම වසරක් පාසා ම ජිබ්රීල් නම් වූ සුර දූතයා පැමිණ දැනටමත් පහළ වූ වැකි නැවත සිහි කරවා, ක්‍රමවත් කර, පෙළ ගස්වා ගියේ ය. නබි නායක (සල්) තුමාණන් අභාවප්‍රාප්ත වූ අවසන් වසරේ දී ජිබ්රීල් නම් සුර දූතයා දෙවතාවක් පැමිණ මෙසේ සම්පිණ්ඩනය කර දුන් බව නබි මග සටහන් වී තිඛෙන හදීස් ග්‍රන්ථයන් හි සම්මත ලෙසින් වාර්තා වී ඇත.

(මූලාශ්‍රය: බුහාරි 6, 1902, 3220, 3554, 4998)

මේ අයුරින් පරිශුද්ධ වූ අල් කුර්ආනය මිනිසුන්ගේ සිත්හි සංරක්ෂණය විය. බොහෝ නබි මිත්‍රවරු පරිශුද්ධ වූ අල් කුර්ආනය මුළුමනින් ම කට පාඩම් කර සිටියහ.

විශේෂයෙන් ම,

අබූ බක්ර් (රලි) තුමා

උමර් (රලි) තුමා

උස්මාන් (රලි) තුමා

අලී (රලි) තුමා

තල්හා (රලි) තුමා

සඅද් (රලි) තුමා

ඉබ්නු මස්ඌද් (රලි) තුමා

හුදෛෆා (රලි) තුමා

සාලිම් (රලි) තුමා

අබූ හුරෛරා (රලි) තුමා

ඉබ්නු උමර් (රලි) තුමා

ඉබ්නු අබ්බාස් (රලි) තුමා

අම්ර් ඉබ්නු ආස් (රලි) තුමා

අබ්දුල්ලාහ් බින් අම්ර් (රලි) තුමා

මුආවියා (රලි) තුමා

අබ්දුල්ලාහ් බින් සුබෛර් (රලි) තුමා

අබ්දුල්ලාහ් බින් සාඉබ් (රලි) තුමා

ආයිෂා (රලි) තුමිය

හෆ්සා (රලි) තුමිය

උම්මු සලමා (රලි) තුමිය

උබෛ බින් කඅබ් (රලි) තුමා

මුආද් බින් ජබල් (රලි) තුමා

සෛද් බින් තාබිත් (රලි) තුමා

අබූ දර්දා (රලි) තුමා

මජ්මා බින් හාරිසා (රලි) තුමා

අනස් බින් මාලික් (රලි) තුමා

යනාදීහූ සඳහන් කළ හැකිය.

මොවුන්ගෙන් බොහෝ අය නබි නායක (සල්) තුමාණන් කාලයේ ම කුර්ආනය කට පාඩම් කර නිමා කළහ. සමහරු නබි නායක (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසුව කට පාඩම් කළහ.

මේ අන්දමින් අධ්‍යාපනය දෙන ලද අයගේ සිත් හි පරිශුද්ධ වූ අල් කුර්ආනය සංරක්ෂණය වූ බව කුර්ආනය ම පවසයි.

(අල් කුර්ආන් 29:49)

ලිඛිත ස්වරූපයෙන්…

උගතුන්ගේ සිත්හි කුර්ආනය ආරක්ෂා කිරීමට සැලසීමත් සමඟ නතර නොවී ඒ ජන සමාජයේ ලිවීමට දන්නා අය කැඳවා තමන්ට ඒ ඒ අවස්ථා වල දී ලැඛෙන දේව පණිවුඩ වහා ම නබි නායක (සල්) තුමාණන් වාර්තා කර ගත් හ.

මෙසේ වාර්තා කිරීම සඳහා නියම කර තිබූ අය අතර අබූ බක්ර් (රලි) තුමා, උමර් (රලි) තුමා, උස්මාන් (රලි) තුමා, අලී (රලි) තුමා, මුආවියා (රලි) තුමා, අෆාන් බින් සයීද් (රලි) තුමා, කාලිද් බින් වලීද් (රලි) තුමා, උෙඛෙ ඉබ්නු කඅබ් (රලි) තුමා, සෛද් බින් සාබිත් (රලි) තුමා, සාබිද් බින් කෛස් (රලි) තුමා යනාදීහූ විශේෂයෙන් ම සඳහන් කළ යුතු අය වෙති.

මේ ලේඛකයෝ නබි නායක (සල්) තුමාණන් දේව වැකි ප්‍රකාශ කරන විට රට ඉඳි ගස් පොතු වලත් සුදු පැහැති ගල් ඵලක වලත්, පදම් කරන ලද සම් වලත් සිවුපාවුන්ගේ පැතලි ඇටකටු වලත් ලියා ගත් හ. එකල ජන සමාජය ලේඛන මාධ්‍ය වශයෙන් භාවිත කළේ මෙවැනි ද්‍රව්‍යයන් ය.

මෙසේ ලියන ලද ඒවා නබි නායක (සල්) තුමාණන්ගේ නිවසේ තබන ලදී. මේ හැර කුර්ආනය කට පාඩම් කර ගත් අය තමන් විසින් ම වෙන ම ලියා තබා ගත්හ.

නබි නායක (සල්) තුමාණන් කාලයේ පහළ වූ මුළු කුර්ආනය ම නබි මිත්‍රවරුන්ගේ සිත් හි ද ලිඛිත ලේඛන වල ද සංරක්ෂණය වූයේ මෙලෙස ය. මේවා නබි නායක (සල්) තුමාණන්ගේ කාලයේ පරිශුද්ධ වූ අල් කුර්ආනය සංරක්ෂණය කරන ලද ක්‍රම වේදයන් ය.

(312 හා 461 වන සටහන් ද බලන්න)

අබූ බක්ර් (රලි) තුමාගේ පාලනයේ දී…

නබි නායක (සල්) තුමාණන් අභාවප්‍රාප්ත වීමෙන් පසුව අබූ බක්ර් (රලි) තුමා පාලන වගකීම භාර ගත්තේ ය. එතුමාගේ පාලන කාලයේ දී (හිජ්රි 12 වන වසරේ දී) “යමාමා” නැමැති සටන සිදු විය. “මුසෛලමා~ නැමැත්තා තමා ද ධර්ම දූතයෙක් යැයි ප්‍රකාශයට පත් කර තමන්ට ම යැයි කණ්ඩායමක් බිහි කර ගෙන සිටියේ ය. ඔහු හා මුස්ලිම්වරු අතර සිදු වූ මෙම සටනේ දී කුර්ආනය කට පාඩම් කළ නබි මිත්‍රවරු 70 දෙනෙකු පමණ ඝාතනය කරනු ලැබූහ.

මෙම සිද්ධියෙන් පසුව උමර් (රලි) තුමා අබූ බක්ර් (රලි) තුමාව හමු වී කුර්ආනය ලිඛිත ස්වරූපයෙන් ක්‍රමවත් ව සකස් කරන මෙන් අවධාරණය කළේ ය. අබූ බක්ර් (රලි) තුමා උමර් (රලි) තුමාගේ මෙකී ඉල්ලීම පිළිගැනීමට මුල දී පැකිළුණේ ය.

“නබි නායක (සල්) තුමාණන් නොකළ මෙහෙවරක් අපි කළ යුත්තේ ඇයි ද” යන්න එතුමාගේ පැකිළීමට හේතුව විය. උමර් (රලි) තුමා තම පාර්ශවයේ පවතින සියලූ සාධාරණයන් හේතු සාධක සහිතව ස්ථීර ව හා නිශ්චිත ව ප්‍රකාශ කර මෙය ඉටු කළ යුතු මෙහෙවරක් යැයි විග්‍රහ කර දුන් පසු අබූ බක්ර් (රලි) තුමා මෙය පිළි ගත්තේය. එවිට කුර්ආනය කට පාඩම් කළ අයගෙන් ද ලේඛන ගත කළ අයගෙන් ද අති විශිෂ්ට කෙනෙකු වූ ද, තරුණයෙකු වූ ද සෛද් බින් සාබිත් (රලි) තුමා කැඳවා අබූ බක්ර් (රලි) තුමා මෙකී වගකීම ඔහුට භාර දුන්නේ ය.

ඔහු ද එම වගකීම භාරගෙන කුර්ආනය ක්‍රමවත් කිරීමේ මෙහෙවර ඉටු කළේ ය. (මූලාශ්‍රය : බුහාරි 4988, 4989)

පරිශුද්ධ වූ අල් කුර්ආනයේ වැකි පහළ වූ විගස ම, “මේ වැකිය මේ වැකියට පෙර ලියන්න. මේ වැකිය මේ වැකියට පසුව ලියන්න. මේ වැකිය මේ අදහස ප්‍රකාශ කරන පරිච්ඡේදයේ තබන්න” යනුවෙන් නබි නායක (සල්) තුමාණන් අණ කරති. නබි මිත්‍රවරු ඒ අනුව ලියා ගනිති. කට පාඩම් කර ගනිති.

(තිර්මිදි 3011 බලන්න)

අද අපි භාවිත කරන කුර්ආනයේ කුමන පරිච්ඡේදයේ කුමන අනුපිළිවෙලට වැකි පිහිටා තිබේ ද එය නබි නායක (සල්) තුමාණන් පෙන් වූ මග පෙන්වීමට අනුව ම පිහිටා ඇත.

වැකිවල අනුපිළිවෙලත් එක් පරිච්ඡේදයක සඳහන් වන වැකි මොනවා ද යන්නත් නබි නායක (සල්) තුමාණන්ගේ අණ පරිදි ම තීන්දු වී ඇත.

එසේ නම්, අබූ බක්ර් (රලි) තුමාට මෙහි ඇති කාර්ය භාරය කුමක් ද යන සැකය කාටත් මතු විය හැකිය.

නබි නායක (සල්) තුමාණන් කුර්ආන් වැකි ලියා ගන්නට පවසන සෑම අවස්ථාවක දී ම සෑම ලේඛකයෙක් ම මදීනාවේ සිටින්නේ නැත. ඇතැම් වැකි පහළ වන විට පිට පළාතක සිටි අය ඒවා තම ලේඛන වල ලියා සිටින්නේ නැත.

මේ නිසා සෑම ලේඛකයෙකුගේ ම ලේඛනයන්හි යම් වැකි කිහිපයක් හෝ පරිච්ඡේද කිහිපයක් හෝ මග හැරී යෑමට ඉඩ ප්‍රස්තා ඇත.

සෑම ලේඛකයෙක් ම, තමන් සතුව තිඛෙන දේ පමණක් සම්පූර්ණ අල් කුර්ආනය යැයි වැරදි ලෙස සිතන විට කුර්ආනයේ ප්‍රතිවිරුද්ධතා තිඛෙන්නාක් මෙන් හැ‍ඟේ.

සෑම ලේඛකයෙකුගේ ම සියලූ ලේඛන එක් රැස් කර, කට පාඩම් කළ සියලූ දෙනා හමුවේ නිවැරදි දැයි පරීක්ෂා කර බලන විට සෑම කෙනෙකුට ම ලිවීමට අත පසු වූ වැකි මොනවා ද පරිච්ඡේද මොනවා ද යන්න සොයා ගත හැකිය.

අබූ බක්ර් (රලි) තුමා සෛද් බින් සාබිත් නම් වූ නබි මිත්‍රයා ලවා සිදු කළේ මෙකී මෙහෙවරයි.

නබි නායක (සල්) තුමාණන්ගේ නිවසේ පැවති ලේඛන ද කුර්ආන් ලේඛකයන් සතුව පැවති ලේඛන ද සෛද් බින් සාබිත් (රලි) තුමා එක් රැස් කළේ ය. කට පාඩම් කළ අය කැඳවා ඔවුන් කට පාඩම් කළ දැයත් ලිඛිත ස්වරූපයට පෙරළී ය.

මේවා ගොනු කර, කට පාඩම් කළ අයගේ කට පාඩමට අනුව පරිශුද්ධ වූ අල් කුර්ආනය අනුපිළිවෙලට සැකසී ය.

සංරක්ෂණය කරන ලද මෙම මුල් පිටපත අබූ බක්ර් (රලි) තුමාගේ භාරකාරත්වය යටතේ පැවතුණි. එය ජනතාවට සේන්දු වූයේ නැත. කට පාඩම් කළ අය සියල්ලෝ ම මරණයට පත් වූවත් එවිට මෙම මුල් පිටපත අනුව කුර්ආනය සකස් කර ගත හැකි විය.

අබූ බක්ර් (රලි) තුමාගේ මරණයෙන් පසු ව මෙකී මුල් පිටපත උමර් (රලි) තුමා සතුව පැවතුණි. උමර් (රලි) තුමාගේ මරණයෙන් පසුව එතුමාගේ දියණිය වූත් නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාව වූත් හෆ්සා (රලි) තුමිය සතුව පැවතුණි.

උස්මාන් (රලි) තුමාගේ පාලනයේ දී…

මෙම කුර්ආන් පිටපත පොදු ජනතාවට බහුලව සේන්දු නොවූ නිසාවෙන් අබූ බක්ර් (රලි) තුමා හා උමර් (රලි) තුමා කුමක් ගැන බිය වූයේ ද ඒ විපරීත ප්‍රතිවිපාක උස්මාන් (රලි) තුමාගේ කාලයේ හට ගන්නා සලකුණු පහළ විය.

කට පාඩම් කළ නබි මිත්‍රවරු බොහෝ සෙයින් අඩු වී, ඉස්ලාමය ද බොහෝ ප්‍රදේශ වලට ව්‍යාප්තව තිබිය දී අංග සම්පූර්ණව කට පාඩම් නොකළ අය එය ම කුර්ආනය යැයි ඒ ඒ ප්‍රදේශවල හඳුන්වා දෙන තත්ත්වයක් ද මුළු කුර්ආනය ම එය යැයි සලකනු ලබන තත්ත්වයක් ද උදා විය.

මෙය දැන ගත් උස්මාන් (රලි) තුමා “මෙම ශුද්ධ ලියවිල්ල සමාජගත කළ යුතුය. ජනතාව අතරට ගෙන යා යුතුය. එසේ ගෙන යාම තුළින් අවුල් සහගත තත්ත්වයන් උදා වීම වළක්වා ගත හැකි යැ”යි සිතා කුර්ආනය ග්‍රන්ථාරූඨ කිරීමේ මෙහෙවර පටන් ගත්තේ ය.

පරිච්ඡේද අනුපිළිවෙලට සැකසීම

හෆ්සා (රලි) තුමිය සතුව තිබූ ඒ එක ම මුල් පිටපත ලබා ගෙන එවැනි පිටපත් රාශියක් සකස් කරන මෙහෙවර සිදු කිරීමට උස්මාන් (රලි) තුමා පටන් ගත්තේ ය. අබූ බක්ර් (රලි) තුමා පිළියෙල කළ මුල් පිටපතේ එක් එක් පරිච්ඡේද සම්පූර්ණ කර තිබුණත් මෙය පළමු පරිච්ඡේදය, මෙය දෙවන පරිච්ඡේදය යනුවෙන් පරිච්ඡේද අනුපිළිවෙලට සකස් කර තිබුණේ නැත.

උදාහරණයක් වශයෙන්, විවිධ පිටු වලින් යුත් වෙන වෙන රචනා පනහක් වෙන වෙන ම රෝල් කර පෙට්ටියක් තුළ දමා තැබුවහොත් මුලින් පිහිටිය යුත්තේ කුමක්දැයි දැනගත නොහැකිය. නමුත් ඒ රචනා සියල්ල එක පිට එක තබා ගොඩ ගසන විට පළමු වැන්න කුමක් ද දෙවැන්න කුමක් ද යන අනුපිළිවෙල දැනගත හැකිය.

උස්මාන් (රලි) තුමා සිදු කළේ අනුපිළිවෙලින් ගොඩ ගැසීමේ මෙහෙවරයි. දැන් පවතින අනුපිළිවෙලට පරිච්ඡේද ශ්‍රේණිගත කළේ නබි නායක (සල්) තුමාණන් යන ප්‍රකාශය වැරදි ය.

ඉරාකයට අයත් කෙනෙකු ආයිෂා (රලි) තුමිය වෙත පැමිණ “ඔබේ කුර්ආන් පිටපත මට පෙන්වන්නැ”යි ඇසීය. ආයිෂා (රලි) තුමිය “ඇයි දැ”යි ඇසුවා ය. “කුර්ආන් පරිච්ඡේද නිවැරදි අනුපිළිවෙලට ශ්‍රේණිගත කිරීමට යැ”යි ඔහු පිළිතුරු දුන්නේ ය. එයට ආයිෂා (රලි) තුමිය “ප්‍රථමයෙන් කුමක් පාරායණා කළත් එයින් ඔබට කිසිඳු හානියක් නැතැ”යි කීවා ය.

(මූලාශ්‍රය : බුහාරි 4993)

නබි නායක (සල්) තුමාණන් රාත්‍රි කාල සලාතයේ දී “බකරා” (නැමති දෙවන) පරිච්ඡේදයත් පසුව “නිසා” (නමැති හතර වන) පරිච්ඡේදයත් පසුව “ආලූ ඉම්රාන්” (නමැති තුන් වන) පරිච්ඡේදයත් පාරායණා කළහ.

(මූලාශ්‍රය : මුස්ලිම් 1850)

උස්මාන් (රලි) තුමා, තම කාලයේ සිටි නබි මිත්‍රවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගෙන තමන්ට හැඟුණු සාධාරණයන් පදනම් කරගෙන කුර්ආනයේ සුවිශේෂී ව ප්‍රකාශ කරනු ලබන පරිච්ඡේදය වන බැවින් ද සලාතයේ සෑම රක්අතයක දී ම පාරායණා කරනු ලබන පරිච්ඡේදය වන බැවින් ද “අල් ෆාතිහා” නම් වූ පරිච්ඡේදය පළමු පරිච්ඡේදය වශයෙන් පිහිටු වීය. “නුඹලා මෙය පළමු පරිච්ඡේදය වශයෙන් තැබිය යුතුයැ” යි නබි නායක (සල්) තුමාණන් ප්‍රකාශ කළේ නැත.

ඉන් පසුව කුර්ආනයේ පරිච්ඡේදයන් හි විශාලත්වය පදනම් කරගෙන උස්මාන් (රලි) තුමා කුර්ආන් පරිච්ඡේද අනුපිළිවෙළට සැකසීය.

ඇතැම් ස්ථාන වල දී වෙනත් හේතු පදනම් කරගෙන කුඩා පරිච්ඡේද මුලට ද විශාල පරිච්ඡේද අගට ද යෙදීය. මේ සඳහා වූ හේතු සාධක අපට පැහැදිලි නොකරන ලදී. නමුත් මෙය අනුපිළිවෙලකට සකස් කරන ලද්දේ උස්මාන් (රලි) තුමා යන්නෙහි කිසිඳු සැකයක් නැත.

අවුල් සහගත තත්ත්වයක් උදා නොවන්නේ යම් පිළිවෙලකට අනුව පිහිටියේ නම් පමණක් වන බැවින් උස්මාන් (රලි) තුමා සිදු කළ ඒ ශ්‍රේණිගත කිරීම ලෝක මුස්ලිම් ජනතාව කිසිඳු මත භේදයකින් තොරව පිළි ගත්හ.

මෙම අනුපිළිවෙල සර්වඥ දෙවියන්ගේ සන්නිධානයෙන් ප්‍රකාශ වූවක් නොවේ. මෙය ධර්ම දූතයාණන්ගේ මග පෙන්වීමට අනුව සකස් කරන ලද්දක් ද නොවන බව සිහියේ තබා ගත යුතුය.

අලී (රලි) තුමා සන්තකයේ තිබූ පිටපතෙහි පරිශුද්ධ වූ අල් කුර්ආනය කුමන අනුපිළිවෙලට පහළ වූයේ ද ඒ අනුපිළිවෙලට ලියා තැබීය. පළමු පරිච්ඡේදය වන 96 වන පරිච්ඡේදය එතුමාගේ ලේඛනයේ සටහන් වී තිබුණි. එතුමා මක්කාවේ පහළ වූ පරිච්ඡේද ප්‍රථමයෙන් ලියා, පසුව මදීනාවේ පහළ වූ පරිච්ඡේද ලියා තැබීය.

එමෙන් ම, ඉබ්නු මස්ඌද් (රලි) තුමා පළමු පරිච්ඡේදය වශයෙන් “බකරා” පරිච්ඡේදය ලියා තබා ගත්තේ ය. එය වත්මන් කුර්ආනයේ දෙවන පරිච්ඡේදය වශයෙන් සඳහන් වී ඇත. දැනට පවතින අනුපිළිවෙලත් එතුමාගේ අනුපිළිවෙලත් අතර නොයෙකුත් වෙනස්කම් ඇත.

උබෛ ඉබ්නු කඅබ් නම් වූ නබි මිත්‍රයා පස් වන පරිච්ඡේදය වශයෙන් පවතින අල් මාඉදා පරිච්ඡේදය හත් වන පරිච්ඡේදය ලෙසත් හතර වන පරිච්ඡේදය වන අන් නිසා පරිච්ඡේදය තුන් වන පරිච්ඡේදය ලෙසත් තුන් වන පරිච්ඡේදය වන ආලූ ඉම්රාන් පරිච්ඡේදය හතර වන පරිච්ඡේදය ලෙසත් හය වන පරිච්ඡේදය වන අල් අන් ආම් පරිච්ඡේදය පස් වන පරිච්ඡේදය ලෙසත් හත් වන පරිච්ඡේදය වන අල් අඃරාෆ් පරිච්ඡේදය හය වන පරිච්ඡේදය ලෙසත් ලියා තැබීය.

නබි නායක (සල්) තුමාණන් පරිච්ඡේද අනුපිළිවෙලට සකස් කර ඇත්නම් බොහෝ නබි මිත්‍රවරු නොයෙකුත් ආකාර වලට තම ලේඛන අනුපිළිවෙල සකස් කරගෙන නොතිඛෙන බව ස්ථීර ව වටහාගත හැකිය.

තවත් සමහරු අබූ බක්ර් (රලි) තුමා ගොනු කළ පිටපතෙහි පරිච්ඡේද අනුපිළිවෙලට සකස් කරන ලදැයි පවසති. ඒ සඳහා කිසිඳු සාධකයක් නැත.

එබැවින් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පරිච්ඡේද අනුපිළිවෙලට සකස් කළේ උස්මාන් (රලි) තුමා යැයි හාකිම් වැනි උගතුන්ගේ ප්‍රකාශය සාධාරණ හේතු වලින් ද ප්‍රමාණවත් සාධක වලින් ද පිහිටා ඇත.

සමාජයේ පිළි ගැනීම

උස්මාන් (රලි) තුමාගේ මෙම ක්‍රියා මාර්ගයට එකල සමාජයේ සිටි නබි මිත්‍රවරුන්ගෙන් ද සත් පුරුෂයින්ගෙන් ද කිසිවෙක් විරෝධය පළ නොකළහ. මෙය නිවැරදි හා අත්‍යවශ්‍ය කි්‍රයා මාර්ගයක් වන බව පිළි ගත්හ.

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) තුමා පමණක් තමා සන්තකයේ වූ පැරණි පිටපත පුලූස්සා දැමීමට මුල දී ප්‍රතික්ෂේප කළේ ය. එතුමා ද පසුව තම තීරණය වෙනස් කර ගෙන උස්මාන් (රලි) තුමාගේ මෙකී මෙහෙවරේ වැදගත්කමත් සාධාරණයත් වටහාගෙන මෙයට එකඟ විය.

සමස්ත මුස්ලිම් ජන සමාජයේ හා යහ උගතුන්ගේ ඒකමතික තීරණයෙන් ද සියලූ දෙනාගේ අධීක්ෂණය යටතේ ද පරිශුද්ධ වූ අල් කුර්ආනය සංරක්ෂණය විය.

අබූ බක්ර් (රලි) තුමාගේ පාලනයේ දී සෛද් බින් සාබිද් (රලි) තුමා කුර්ආනය ක්‍රමවත් ව ලේඛන ගත කරන කමිටුවට නායකත්වය දැරීය. එබැවින් කුර්ආන් පරිච්ඡේද අනුපිළිවෙලට සකස් කිරීමටත් විවිධ පිටපත් සකස් කිරීමටත් උස්මාන් (රලි) තුමා පත් කළ කමිටුවට ද එතුමාව ම නායකයා වශයෙන් පත් කරන ලදී.

මෙම කමිටුවේ අබ්දුල්ලාහ් බින් සුබෛර් (රලි) තුමා, සයීද් බින් අල් ආස් (රලි) තුමා, අබ්දුර් රහ්මාන් බින් අල් හාරිස් (රලි) තුමා යනාදීහූ සාමාජිකත්වය දැරූහ.

උස්මාන් (රලි) තුමා මෙම මෙහෙවර හිජ්රි 25 වන වසරේ දී සිදු කළේ ය. එනම්, නබි නායක (සල්) තුමාණන් අභාවප්‍රාප්ත වී වසර 15 ක් තුළ කුර්ආනය දැන් තිඛෙන අනුපිළිවෙලට සකස් වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

පිටපත් ගැනීම

තව ද උස්මාන් (රලි) තුමා පිටපත් රැසක් ගැනීමට සලස්වා ඒ පිටපත් තම පාලනය යටතේ පැවති සියලූ ප්‍රදේශ වලට එවීය. ඒ පිටපත් අනුව පමණක් අන් අය පිටපත් ලබාගත යුතු යැයි අණක් ද පැනවීය. සෑම කෙනෙක් ම තමා සතුව තිබූ අංග සම්පූර්ණ නොවූ පැරණි පිටපත් ගිනි බත් කරන ලෙසත් අණ පැනවීය.

ලෝකය පුරාවට ම සියවස් ගණනාවක් පුරාවට ම කුර්ආනය මුද්‍රණය කර, ලේඛනගත කර ව්‍යාප්ත කර, ඛෙදා හරිනු ලබමින් පවතින්නේ උස්මාන් (රලි) තුමාගේ මෙම මුල් පිටපත පදනම් කරගෙන ය.

උස්මාන් (රලි) තුමා විවිධ ප්‍රදේශ වලට යැවූ මුල් පිටපත් වලින් පිටපත් දෙකක් අදටත් සංරක්ෂණය වෙමින් පවතී. ඉන් එකක් තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි කෞතුකාගාරයේ ද තවත් පිටපතක් රුසියාවේ “තාෂ්කණ්ඩ්” අගනුවර පිහිටි කෞතුකාගාරයේ ද සංරක්ෂණය වෙමින් පවතී.

වත්මන් ලෝකයේ පවතින කුර්ආන් පිටපත් සියල්ලේ ම මුල් පිටපත එතුමා පතුරුවා හළ ඒ පිටපත් ම වේ.

පරිශුද්ධ වූ අල් කුර්ආනය එක් රැස් කර, සංරක්ෂණය කරන ලද ඉතිහාසය මෙයයි.