අරාබි පද

අල්ලාහ්

අල්ලාහ් යනු මුළු විශ්වය ම මවා පරිපාලනය කරන සර්ව බලයත් බලධාරී පරාක්‍රමයත් සහිත එක ම දෙවියන් පමණක් හඟවන අරාබි භාෂාවේ වචනයකි.

අරාබිවරු නබි නායක (සල්) තුමාණන්ට පෙර සිට ම මෙම වචනය භාවිත කිරීමට පුරුදු ව සිටිය හ. ඔවුහු නමදිමින් හුන් පිළිම වලට වෙනත් වචන වලින් ආමන්ත්‍රණය කළා මිස අල්ලාහ් යැයි ආමන්ත්‍රණය නොකළහ.

මුළු විශ්වය ම මවා පරිපාලනය කරන එක ම දෙවි කෙනෙක් සිටියි. ඔහු ය, අල්ලාහ්. අනෙක් දෙවිවරු සියල්ලෝ ම අල්ලාහ්ගෙන් ඉල්ලා ලබා දෙන කුඩා දෙවිවරු වන බව ඔවුන්ගේ විශ්වාසය විය.

සිංහල භාෂාවේ පවතින දෙවියා දෙවියන්, දෙවිඳු, දෙවි, යන වචන අල්ලාහ් සඳහා වූ පරිවර්තනයක් ලෙස අපි භාවිත නොකළේ ඒ නිසාවෙනි. මන්දයත් මෙම වචනය එකම දෙවියන්ටත් භාවිත කරති. නමදිනු ලබන සියල්ලටත් මෙම වචනය භාවිත කරති.

ප්‍රතිමාවකට හෝ ගරු කරනු ලබන මිනිසෙකුට හෝ දෙවියන් යනුවෙන් ප්‍රකාශ කරන සම්ප්‍රදායක් අප ජනතාව අතර ඇත. නමුත් අල්ලාහ් යන වචනය නබි නායක (සල්) තුමාණන්ට සතුරු වූ අය පවා නමදිනු ලබන සියල්ලට ම භාවිත නොකළහ. එබැවින් අල්ලාහ් යන වචනය සඳහන් වන සියලූ තැන්හි අල්ලාහ් යනුවෙන් ම සඳහන් කළෙමු.

1. අල්ලාහ්ට අඹු දරුවන් නැත.

2. අල්ලාහ්ට දෙමාපියන් නැත. එබැවින් සහෝදර සහෝදරියන් නැත.

3. අල්ලාහ්ට සිදු කළ නොහැකි කිසිවක් නැත.

4. අල්ලාහ් නොදන්නා කිසිවක් නැත.

5. දුක, වේදනාව, අලසකම, අමතක වීම, වෙහෙස මහන්සිය, කුසගින්න, පිපාසය, ස්වභාවික අවශ්‍යතාවන්, මහලූ බව, ලෙඩ රෝග යනාදී කිසිඳු දුර්වලතාවක් අල්ලාහ්ට නැත.

6. ඔහුට කිසිඳු ආකාරයේ අවශ්‍යතාවක් කිසිසේත් ම නැත.

අල්ලාහ් යනු මෙවැනි සියලූ ගති ලක්ෂණ වලින් මුළුමනින් ම සමන්විතව සිටින්නා ය.

(වැඩි විස්තර සඳහා පටුනේ ප්‍රතිපත්තිය යන මාතෘකාවේ ~අල්ලාහ් ගැන විශ්වාස කිරීම~ යන උප මාතෘකාව බලන්න.)

අය්යූබ්

මෙතුමා ධර්ම දූතයින්ගෙන් කෙනෙක් වේ. යුදෙව් හා ක්‍රිස්තියානිවරු මෙතුමාට යෝබ් යැයි පවසති.

මෙලොවෙහි විවිධාකාර ලෙඩ රෝග වලින් ද දරිද්‍රතාවෙන් ද මෙතුමා දරුණු ලෙස පරික්ෂණයට ලක් කරනු ලැබීය. පවුලේ අයත් මෙතුමාට අහිමි විය. පසුව දේව දයාවෙන් ලෙඩ රෝග ඉවත් විය. මෙතුමාගේ පවුලේ අයත් මෙතුමාට ආපසු ලැබුණි.

එතුමාගේ සිරුරෙන් පණුවන් බිහි වූ බවටත් එයින් ඉතා අසීරුතාවට පත් වූ බවටත් ප්‍රබන්ධ කථා ඇත. ඒවාට සාධක කිසිවක් නැත.

(අය්යූබ් නබි තුමා ගැන තවත් විස්තර දැන ගැනීමට පටුනේ ඉතිහාසය යන මාතාකාවේ “නබිවරු” නමැති උප මාතෘකාව බලන්න.)

අරෆාත්

අරෆා නැතහොත් අරෆාත් මක්කාවෙන් පිටත පිහිටා තිඛෙන අති විශාල පිටියක නමකි.

හජ් යුතුකම ඉටු කරන අය හජ් මස නව වන දින මෙම පිටියෙහි රැස්වීම අනිවාර්යය යුතුකමකි. මෙම එළිමහන් පිටියේ සුළු වේලාවක් හෝ නතර නොවුවහොත් හජ් යුතුකම ඉටු නොවේ. එක ම මොහොතක දී ලක්ෂ සංඛ්‍යාත ජනකායක් කූඩාරම් තනා මෙහි නතර වෙති. මෙදින විශේෂ දේශනාවක් ද පවත්වනු ලැබේ. (අල් කුර්ආන් 2:198)

අර්ෂ්

සර්ව බලධාරී එක ම දෙවියන් විරාජමානව වැඩ සිටිමින් පාලනය කරන ආසනය අර්ෂ් වේ. මෙය අහස් හා පොළොවට වඩා සුවිශාල ය. සර්ව බලධාරී දෙවියන් අර්ෂ්හි වැඩ සිටින බව පරිශුද්ධ වූ අල් කුර්ආනය බොහෝ තැන්හි ප්‍රකාශ කරයි.

(අර්ෂ් ගැන අමතර විස්තර දැන ගැනීමට පටුනේ ප්‍රතිපත්තිය යන මාතෘකාවේ “අල්ලාහ් ගැන විශ්වාස කිරිම” නමැති උප මාතෘකාව බලන්න.)

අල් යසඃ

අල් යසඃ තුමා ධර්ම දූතයින්ගෙන් කෙනෙක් වේ. මෙතුමා ගැන පරිශුද්ධ වූ අල් කුර්ආනයේ 6:86, 38:48 යන වැකි දෙකෙහි පමණක් සඳහන් වී ඇත. අමතර විස්තර කිසිවක් මෙතුමා ගැන ප්‍රකාශ වූයේ නැත.

අන්සාර්

නබි නායක (සල්) තුමාණන් ද එතුමාණන් පිළිගත් නබි මිත්‍රවරු ද මක්කාවෙන් නෙරපා දමනු ලැබීමෙන් අනතුරුව මදීනාවට රැකවරණය සොයා පැමිණිය හ. එසේ පැමිණි අය වැළඳ ගෙන සත්කාර කරමින් මහෝපකාර කළ අය අන්සාර්වරු වෙති.

මොවුන්ගෙන් සෑම කෙනෙක් ම අනාථව පැමිණි ජනතාවට අයත් කෙනෙකු භාර ගෙන ඔහුට නිවාස, දේපළ, වෙළඳාම, වස්ත්‍ර ආදී සියල්ලේ ම හරි අඩක් ඛෙදා දුන්හ.

(අන්සාර් වරුන් ගැන අමතර විස්තර දැන ගැනීමට පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ “සත් පුරුෂයෝ-අසත් පුරුෂයෝ” නමැති අනු මාතෘකාව බලන්න.)

ආදම්

ඉස්ලාමීය විශ්වාසයට අනුව අල්ලාහ් පළමු මිනිසා මැටියෙන් නිර්මාණය කළේ ය. ආදම් යනු එසේ නිර්මාණය කරනු ලැබූ පළමු මිනිසාගේ නමයි. මුළු ලොවේ ම ජීවත් වන

මිනිසුන්ගේ පියා මෙතුමා ය. සර්ව බලධාරී දෙවියන් මෙතුමාගෙන් මෙතුමාගේ සහකාරිය නිර්මාණය කළේය. ක්‍රිස්තියානිවරු ද මෙතුමාට ආදම් යැයි පවසති.

(ආදම් තුමා ගැන වැඩි විස්තර දැන ගැනීමට පටුනෙහි ඉතිහාසය යන මාතෘකාව යටතේ “නබිවරු” නමැති උප මාතෘකාව බලන්න.)

ආද්

“හූද්” නමැති ධර්ම දූතයා එවනු ලැබූ ජන සමාජය “ආද්” ජන සමාජය යැයි කියනු ලැබේ. මොවුහු ඉතා බලවන්තයෝ වූහ. හූද් නබි තුමා පිළිගැනීමට ප්‍රතික්ෂේප කරමින් අක්‍රමිකතා කළ බැවින් වියළි සුළඟක් එවා සර්ව බලධාරී දෙවියන් ඔවුන් විනාශ කළේ ය.

(ආද් ජන සමාජය ගැන වැඩි විස්තර දැන ගැනීමට පටුනේ ඉතිහාසය යන මාතෘකාව යටතේ ~නබිවරු (හූද්)~ යන අනු මාතෘකාව බලන්න).

ඉන්ජීල්

මෙම ධර්ම ග්‍රන්ථය ඊසා නබි තුමාට පහළ වූ ධර්ම ග්‍රන්ථය යැයි පරිශුද්ධ වූ අල් කුර්ආනය නොයෙකුත් තැන් හි පවසයි.

වර්තමානයේ පවතින බයිබලය ඉන්ජීල් නොවේ. මන්දයත් එය යේසුස් තුමා ගැන අන් අය විසින් ලියන ලද වෘත්තාන්ත ය. ඉන්ජීල් යනු යේසුස් නම් වූ ඊසා නබි තුමා සමඟ සර්ව බලධාරී දෙවියන් වන ස්වාමීන් වහන්සේ සිදු කළ සම්භාෂණයයි.

මේ ගැන මුළුමනින් ම දැන ගැනීමට 491 වන සටහන බලන්න.

ඉඃතිකාෆ්

මෙම වචනයේ අර්ථය නතර වීම යන්නයි. ඉස්ලාමීය විශ්වාසයට අනුව මද වේලාවක් හෝ දින කිහිපයක් හෝ පල්ලියේ නතර වී දෙවියන් මෙනෙහි කරමින් ද නැමදුම් ඉටු කරමින් ද සිටීම ඉඃතිකාෆ් නම් වේ.

යම් කෙනෙක් එක් දිනක් ඉඃතිකාෆ් සිටින බවට තීරණය කළේ නම් එදින පුරාවට ම පවුල් ජීවිතය, ගනුදෙනු වැනි කිසිඳු රාජකාරියක නිරත නොවිය යුතුය.

මුළුමනින් ම ලෞකික සැප අත් හැර ජීවත් වීම තහනම් කළ ඉස්ලාම් දහම පවුල් සංස්ථාවට හෝ ලෝකයට හෝ හානියක් සිදු නොවන මෙම මද පමණින් වූ තපසට පමණක් අනුමැතිය ලබා දේ. දින දෙක තුනක් පමණක් මෙසේ පල්ලියේ නතර වී ලෞකික සම්බන්ධතාව තාවකාලිකව බිඳ දමන කෙනෙක් පිටතට පැමිණි විගස ම පරිණත වී කටයුතු කරනු ඇත. ඔහුට හා ලොවට මෙයින් ඵල ප්‍රයෝජන ලැබේ. (අල් කුර්ආන් 2:187 බලන්න.)

ඉද්දා

ස්වාමි පුරුෂයා අහිමි වූ කාන්තාවන් ද ස්වාමි පුරුෂයින් විසින් දික්කසාද කරන ලද කාන්තාවන් ද නියමිත කාලයක් දක්වා නැවත විවාහ වීම ප්‍රමාද කළ යුතුය. ඉද්දා යනු මෙම කාල සීමාවයි.

ස්වාමි පුරුෂයා අහිමි වූ කාන්තාව මාස හතරක් හා දින දහයක් ගත වීමට පෙර නැවත විවාහ නොවිය යුතුය. දික්කසාද වූ කාන්තාව මාස් ශුද්ධි තුනක් දක්වා වූ කාලයක් පූර්ණ වීමට පෙර නැවත විවාහ නොවිය යුතුය.

(මේ ගැන තවදුරටත් විස්තර දැන ගැනීමට විග්‍රහයන් කොටසේ සටහන් අංක 69, 360, 404 හා 424 බලන්න).

ඉද්රීස්

මෙතුමා ධර්ම දූතයින්ගෙන් කෙනෙකි. මෙතුමා ගැන පරිශුද්ධ වූ අල් කුර්ආනය 19:56, 21:85 යනාදී වැකි දෙක තුළ පමණක් ප්‍රකාශ වේ. මෙතුමා ගැන කුර්ආනයේ අමතර විස්තර කිසිවක් ප්‍රකාශ වී නැත.

ඉබ්‍රාහීම්

ධර්ම දූතවරුන් අතුරින් වැඩි ම දයානුග්‍රහය ලත් ධර්ම දූතයා ඉබ්‍රාහීම් තුමා ය. අල්ලාහ් මෙතුමාගේ තත්ත්වය බොහෝ සෙයින් උසස් කර ඇත.

නබි නායක (සල්) තුමාණන් පමණක් නොව ඉස්හාක්, යඃකූබ්, දාවූද්, සුලෛමාන්, අය්යූබ්, යූසුෆ්, මූසා, හාරූන් යනාදීහූ සියල්ලෝ ම මෙතුමාගේ පරපුරේ අය වෙති.

යුදෙව්වරු, ක්‍රිස්තියානිවරු හා මුස්ලිම්වරු බොහෝ සෙයින් ගෞරව කරන මහෝත්තමයෙක් ලෙස ද මෙතුමා දිස් වෙයි. යුදෙව්වරු හා ක්‍රිස්තියානිවරු මෙතුමාට “ආබ්‍රහම්” යැයි පවසති.

(ඉබ්‍රාහීම් නබි තුමා ගැන වැඩි විස්තර දැන ගැනීමට පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ “නබිවරු” යන උප මාතෘකාව බලන්න.)

ඉබ්ලීස්

පළමු මිනිසා වූ ආදම් නිර්මාණය කරනු ලැබීමට පෙර යහපත් අයගෙන් කෙනෙක් විය. මොහු ගින්නෙන් නිර්මාණය කරන ලද අතර ජින් වර්ගයාට අයත් වේ.

පළමු මිනිසා නිර්මාණය කළ විගස ම අල්ලාහ් ඔහුට ගෞරව කරන ලෙස අණ කළේ ය. සුර දූතවරු සියල්ලෝ ම ගෞරව කළහ. ඔවුන් සමඟ සිටි ඉබ්ලීස් ආදම්ට යටහත් පහත් වීම තමන්ට නිග්‍රහයක් සේ සිතීය. ගෞරව කිරීමට ප්‍රතික්ෂේප කළේය. මිනිසුන් නොමග යැවීමට තමන්ට අවස්ථාවක් දුන්නේ නම් නොමග යැවිය හැකි යැයි සර්ව බලධාරී දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

“නුඹ විසින් මා ගැන මුළුමනින් ම විශ්වාස කරන සත් පුරුෂයින් නොමග යැවිය නොහැකිය. නුඹට නොමග යැවිය හැක්කේ තම චිත්තාභිලාෂයන්ට වහල් වූ අය ම යැ”යි පවසා සර්ව බලධාරී දෙවියන් අවස්ථාවක් ලබා දුන්නේ ය. ෂෛතාන් යනුවෙන් හඳුන්වනු ලබන අය මොහුගේ පරපුරයි.

(ඉබ්ලීස් හා ෂෛතාන් ගැන වැඩි විස්තර දැන ගැනීමට පටුනේ ප්‍රතිපත්තිය යන මාතෘකාවේ “අනෙකුත් විශ්වාසයන්” යන උප මාතෘකාව බලන්න).

ඉම්රාන්

මෙතුමා ඊසා නබි තුමාගේ මව වන මරියම් තුමියගේ පියා වේ. මෙතුමා ගැන පරිශුද්ධ වූ අල් කුර්ආන් 3:33, 3:35, 66:12 යන වාක්‍යයන් තුනෙහි නම පමණක් සඳහන් වී ඇත. මෙතුමා ගැන වෙනත් කිසිඳු තොරතුරක් කුර්ආනයේ ප්‍රකාශ වී නැත.

ඉල්යාස්

මෙතුමා ධර්ම දූතයින්ගෙන් කෙනෙක් වේ. මෙතුමාට ඉල්යාසීන් යනුවෙන් ද කුර්ආනයේ සඳහන් වී ඇත. (අල් කුර්ආන් 37:130). මෙතුමා තම ජන සමාජයේ බහු දේව විශ්වාසයට එරෙහිව ප්‍රචාරය කළ තොරතුර මිස අමතර විස්තරයක් මෙතුමා ගැන ප්‍රකාශ වි නැත. (අල් කුර්ආන් 37:123, 6:85)

ඉස්තබරක්

ඉස්තබරක් යනු ස්වර්ගයේ ඇඳීමට සලස් වන පට වස්ත්‍ර වර්ගයක නමකි. මෙය පට වස්ත්‍ර වලින් වැඩි ඝනකමකින් යුත් වස්ත්‍රයකි. (අල් කුර්ආන් 18:31, 44:53, 76:21)

ඉස්රායීල්

ඉබ්‍රාහීම් නබි තුමාගේ පුත්‍රයා ඉස්හාක් තුමා ය. ඉස්හාක් තුමාගේ පුත්‍රයා යඃකූබ් තුමා ය. යඃකූබ් තුමාගේ තවත් නමක් ඉස්රායීල් ය. ඉශ්‍රායෙල්වරු යනුවෙන් හඳුන්වනු ලබන අය යඃකූබ් නබි තුමාගේ පරපුර වන බැවින් ඔවුහු ඉස්රායීල්ගේ දරුවන් යැයි ප්‍රකාශ කරනු ලබති. ක්‍රිස්තියානිවරු මෙතුමාට ඉශ්‍රායෙල්, යාකොබ්, ජේකොබ් යනුවෙන් පවසති.

(ඉස්රායීල් ගැන තව දුරටත් විස්තර දැන ගැනීමට පටුනෙහි ඉතිහාසය යන මාතෘකවේ “නබිවරු (යඃකූබ්)” නමැති අනු මාතෘකාව බලන්න.)

ඉස්මායීල්

ඉබ්‍රාහීම් නබි තුමාගේ පුත්‍රයා ඉස්මායීල් ය. මෙතුමා ද ධර්මදූතයින්ගෙන් කෙනෙක් වේ. නබි නායක (සල්) තුමාණන් උපත ලැබුවේ ඉස්මායීල් තුමාගේ වංශයෙනි. යුදෙව් හා ක්‍රිස්තියානිවරු මෙතුමාට “ඉෂ්මායෙල්” යැයි පවසති.

(ඉස්මායිල් ගැන අමතර විස්තර දැන ගැනීමට පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ “නබිවරු” නමැති උප මාතෘකාව බලන්න.)

ඉස්හාක්

ඉබ්‍රාහීම් නබි තුමාගේ තවත් පුත්‍රයෙකි, ඉස්හාක්. මෙතුමා ද ධර්මදූතයින්ගෙන් කෙනෙක් ය යන්න ගැන මිස මෙතුමා ගැන අමතර විස්තර කිසිවක් කුර්ආනයේ ප්‍රකාශ වී නැත. අනෙක් නබිවරු මෙන් මෙතුමා ද සත් පුරුෂයෙක් ව සිටි බව කුර්ආනය පවසයි. මෙතුමාගේ ප්‍රචාරය හා එහි දී මුහුණ දීමට සිදු වූ ගැටලූ ගැන කිසිවක් ප්‍රකාශ වී නැත.

ඉහ්රාම්

ඉහ්රාම් යනු හජ් නැතහොත් උම්රා ඉටු කිරීමට පටන් ගන්නා විට ගනු ලබන ප්‍රතිඥාවයි. මෙසේ ප්‍රතිඥා ගන්නා විට නොමසන ලද වස්ත්‍ර ඇඳ ගත යුතුය.

(මේ ගැන වැඩි විස්තර සඳහා පටුනේ නැමදුම යන මාතාකාවේ “හජ්” නමැති උප මාතෘකාව බලන්න.)

ඊසා

ක්‍රිස්තියානිවරු දෙවියන් වූ ස්වාමීන් වහන්සේගේ පුත්‍රයා යැයි සඳහන් කරන යේසුස් තුමාව පරිශුද්ධ වූ අල් කුර්ආනය ඊසා යැයි පවසයි.

ඊසා නබි තුමා ප්‍රාතිභාර්යයන් කිහිපයක් සිදු කළ බවත් පියෙක් නොමැතිව ඉපදුණු බවත් ඉස්ලාම් පිළි ගනියි. නමුත් එතුමා ද අනෙක් ධර්මදූතවරු මෙන් එක් ධර්ම දූතයෙකි. සර්ව බලධාරී දෙවියන්ට පුත්‍රයෙක් සිටිය නොහැකි බැවින් මෙතුමා දේව පුත්‍රයෙක් නොවේ යැයි කුර්ආනය තරයේ ම ප්‍රකාශ කරයි.

(ඊසා නබි තුමා ගැන අමතර විස්තර දැන ගැනීමට පටුනෙහි ඉතිහාසය යන මාතෘකාවේ නබිවරු නමැති උප මාතෘකාව හා සටහන් අංක 456, 459 හා 493 බලන්න.)

උම්රා

මක්කාවට ගොස් කඃබාව වටා කැරකීම, කඃබා භූමිය තුළ සලාතය ඉටු කිරීම, සෆා හා මර්වා කඳු අතර දිවීම, උම්රා යැයි කියනු ලැබේ. උම්රාඕනෑම මොහොතක දී ඉටු කළ හැකිය.

මේ සඳහා නොමසන ලද වස්ත්‍රයක් ඇඳිය යුතුය. මෙම කාල සීමාවේ දී සංවාසයේ යෙදීම, දඩයම් කිරීම වැනි දැයින් වැළකී සිටිය යුතුය.

(මේ ගැන වැඩි විස්තර පටුනේ නැමදුම යන මාතෘකාවේ “හජ්” නමැති උප මාතෘකාව බලන්න).

උස්සා

උස්සා යනු නබි නායක (සල්)තුමාණන්ගේ කාලයේ ජීවත් වූ බහු දේව විශ්වාසය තිඛෙන අය වන්දනාමාන කළ ප්‍රතිමා වලින් එක් ප්‍රතිමාවක නමකි. (අල් කුර්ආන් 53:19)

කඃබාව

පළමු මිනිසා නිර්මාණය කරනු ලැබීමත් සමඟ ඔහු එකම දෙවියන් නැමදීම සඳහා ඉඳි කළ ගෘහය, කඃබාව නම් වේ. (අල් කුර්ආන් 3:96)

ආදම් (අලෛ) තුමා වාසය කළේ මෙහි බව මෙයින් දැනගත හැකිය.

සෘජු කෝණාස්‍රාකාර ඒ ගොඩනැගිල්ලේ ආදම් තුමා හා එතුමාගේ දරුවන් ඇතුල් වී සලාතය ඉටු කිරීමට ප්‍රමාණවත් ය. නමුත් අද සියලූ දෙනාට ම ඇතුලේ සලාතය ඉටු කළ නොහැකි බැවින් එය වටා ඉන් පිටත සලාතය ඉටු කරති. මස්ජිදුල් හරාම් – පුණ්‍ය පල්ලිය යනුවෙන් හැඳින්වෙන්නේ ඒ වටා තිඛෙන භූමි ප්‍රදේශයත් ගොඩනැගිල්ලත් ය.

ආදම් නබි තුමාට පසුව කඃබාව ගරා වැටුණු තත්ත්වයකට පත් විය. පසුව ඉබ්‍රාහීම් නබි තුමා දේව අණ පරිදි ඒ කාන්තාරය සොයා ගෙනැවිත් තම භාර්යාව හා පුත් ඉස්මායීල් ද එහි පදිංචි කරවීය.

සර්ව බලධාරීධ දෙවියන්ගේ ප්‍රාතිභාර්යයක් වන නොසිඳෙන සම් සම් ළිඳ බිහි වීමෙන් පසුව ලක්ෂ තිහක ජනතාවට එය දිනපතා ප්‍රයෝජනවත් වෙමින් පවතී.

එම ජලය හේතුවෙන් එම කාන්තාරය නව ජනාවාසයක් බවට පත් විය. එබැවින් එහි පළමු ගෘහය පියා පුතු දෙදෙනා එක් ව නැවත ඉඳි කළහ.

(කඃබාව ගැන වැඩි විස්තර දැන ගැනීමට පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ “ස්ථාන” නමැති උප මාතාකාව ද, “නබිවරු (ඉබ්‍රාහීම්)” නමැති උප මාතෘකාව ද බලන්න.)

කාරූන්

මොහු මූසා නබි තුමාගේ ජන සමාජයට අයත් කෙනෙකි. සර්ව බලධාරී දෙවියන් මොහුට අනන්ත අප්‍රමාණව ධනය පිරිනැමීය. මොහුගේ භාණ්ඩාගාරයන්හි යතුරු කැරලි බලසම්පන්න සේනාවක් උසුලන තරමට විශාල ප්‍රමාණයක් පැවති බව සර්ව බලධාරී දෙවියන් සඳහන් කරයි.

ධනය හේතු කොට ගෙන මොහු සීමාව ඉක්ම වූ විට සර්ව බලධාරී දෙවියන් මොහු ද මොහුගේ නිවස ද පොළොව තුළට වැළලීමට සලස්වා විනාශ කළේ ය.

(කාරූන් ගැන අමතර විස්තර සඳහා පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ “සත් පුරුෂයෝ-අසත් පුරුෂයෝ” යන උප මාතෘකාව බලන්න.)

කිබ්ලා

කිබ්ලා යන්නෙහි අර්ථය මුහුණ ලෑම, මුහුණලන ඉලක්කය යන්නයි. ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව අල්ලාහ් නැමදීමේ දී හෙවත් සලාතය ඉටු කිරීමේ දී මුහුණලන ඉලක්කය කිබ්ලාවයනුවෙන් හැඳින් වේ. මුස්ලිම්වරු මක්කාවේ පිහිටා තිඛෙන ලොවේ පළමු ගෘහය වන කඃබා ගෘහය වෙතට මුහුණලා සලාතය ඉටු කළ යුතුය.

කඃබා ගෘහයට සලාතය ඉටු කරන බව කිසිවෙක් නොසිතිය යුතුය. එය හුදෙක් ම ගොඩනැගිල්ලක් පමණි. එයට කිසිඳු දේවත්වයක් නැත. කඃබාව වෙත කිසිඳු ඉල්ලීමක් නොකළ යුතුය.

කිසිවක් වෙතට නුමුහුණලා කිසිඳු කටයුත්තක් සිදු කළ නොහැකිය. කඃබාව වෙතට එසේ යොමු වීමට හේතුව එය ලෝකයේ එක ම දෙවියන් නැමදුම් කිරීම සඳහා ප්‍රථමයෙන් ඉඳි කරන ලද ගෘහය වීමයි.

බොහෝ අය එක්ව සාමුහිකව ඉටු කරන ස්ථානයන්හි එක් එක් අය එක් එක් දිශා වලට යොමු වුවහොත් පිළිවෙල නැසී යනු ඇත. මේ නිසාවෙන් සියල්ලෝ ම එකක් දෙසට යොමු විය යුතු යැයි සර්ව බලධාරී දෙවියන් අණ කර ඇත.

මුස්ලිම්වරු වයඹ දිශාවට නැමදුම් කරන බව අප රටේ සමහරු සිතති. මෙයට හේතුව අප රටට වයඹ දිශාවෙන් කඃබාව පිහිටා තිබීමයි. අනෙක් රටවල් හි උතුර, දකුණ, නැගෙනහිර යනුවෙන් විවිධ දිශා වලට යොමු වී මුස්ලිම්වරු සලාතය ඉටු කරති.

මක්කාවට ගොස් කඃබාව සෘජුව ම දකින්නේ නම් එය වටා සෑම දිශාවකින් ම මුස්ලිම්වරු සලාතය ඉටු කරති. එබැවින් මුස්ලිම්රු දිශාවකට වන්දනාමාන කරන බව සිතීම වරදකි.

(කිබ්ලා ගැන වැඩි විස්තර සඳහා පටුනේ නැමදුම් යන මාතෘකාවේ “සලාතය” නමැති උප මාතෘකාව බලන්න).

කුර්බානි

මුස්ලිම්වරුන්ගේ අවුරුදු දිනයන් දෙකෙන් දෙවන අවුරුදු දිනය වශයෙන් සලකනු ලබන හජ් අවුරුදු දිනයේ සර්ව බලධාරී දෙවියන් වෙනුවෙන් එළු, ගව, ඔටු වැනි සිවුපාවුන්ගෙන් යමක් කපා බිලි දීම කුර්බානි යැයි කියනු ලැබේ.

මෙසේ කපා බිලි දීම සර්ව බලධාරී දෙවියන්ට සේන්දු වේ යැයි කිසිවෙක් නොසිතිය යුතුය. මන්දයත් උන්ගේ ලෙය හෝ මාංශ හෝ අල්ලාහ්ට ළඟා නොවන බව පරිශුද්ධ වූ අල් කුර්ආනය දන්වා සිටියි. (22:37)

යම් කිසි ආර්ථීකය සම්බන්ධයෙන් වූ කටයුත්තක් සර්ව බලධාරී දෙවියන් සමඟ සම්බන්ධ කළේ නම් ඒවා දුගීන්ට දිය යුතුය යන්න ඉස්ලාමයේ ස්ථාවරයයි.

එබැවින් දුගී දුප්පත් ජනතාව සතුටින් අවුරුදු දිනය සැමරීමටත් ඉබ්‍රාහීම් නබි තුමා මෙන් ඕනෑම පරිත්‍යාගයකට සූදානම් බව හැඟවීමටත් මෙය අනිවාර්යය කරන ලදී.

විග්‍රහයන් කොටසේ 56 වන සටහන බලන්න.

ජාලුත්

ජාලුත් යනු නොයෙකුත් අක්‍රමිකතාවන් සිදු කළ දුෂ්ට පාලකයෙකුගේ නමකි. දාවූද් නබි තුමා යුද පිටියේ දී මොහු ඝාතනය කළේ ය. (අල් කුර්ආන් 2:249, 2:251)

ජිබ්රීල්

රූහ් නැමති වචනය බලන්න.

ජින්

“ජින්” යන නමින් එක් නිර්මාණයක් සිටින බව පරිශුද්ධ වූ අල් කුර්ආනය බොහෝ තැන් හි පවසයි. මෙම වර්ගයා ගින්නෙන් නිර්මාණය කරනු ලැබූ අය බැවින් මිනිසුන්ගේ පිය වි ඇස් වලට නොපෙනෙති.

නමුත් මෙම නිර්මාණය මිනිසුන් මෙන් විවේක බුද්ධිය පිරිනමන ලද අය වෙති. මිනිසුන් මෙන් ස්වර්ගයට හා නිරයට පිවිසෙති.

තමත්තුඋ

හජ් යුතුකම ක්‍රම තුනකට ඉටු කළ හැකිය. ඉන් එක් ක්‍රමයකට තමත්තුඋ යැයි කියනු ලැබේ.

හජ් ඉටු කිරීමට යන විට දී උම්රාවට පමණක් ඉහ්රාම් ඇඳ උම්රාට ඉටු කළ යුතුය. උම්රාව නිම කළ පසු ඉහ්රාමයෙන් මිදී මක්කාවේ වැසියෙක් මෙන් නතර වී හජ් සඳහා වූ කාලය එළඹුණු වහාම හජ්වලට ඉහ්රාමේ ඇඳහජ් ඉටු කළ යුතුය. තමත්තුඋ ක්‍රමය වේ.

මේ ගැන අමතර විස්තර දැන ගැනීමට සටහන් අංක 56 හා 57 බලන්න.

තවාෆ්

තවාෆ් යන්නෙහි අර්ථය වටේ කැරකීම යන්නයි.

ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව තවාෆ් යනු කඃබා ගෘහය පැත්තට වමත පිහිටන සේ හත් වතාවක් වටේට කැරකීම ය. තවාෆ් යනු මෙයයි. මෙය හජ් හා උම්රාහි අංගයකි.

තව්රාත්

නබි නායක (සල්) තුමාණන්ට කුර්ආනය පහළ වූවාක් මෙන් මූසා නබි තුමාට පහළ වූ ධර්ම ග්‍රන්ථය තව්රාත් වේ. තව්රාතය ගැනත් මූසා නබි තුමා ගැනත් කුර්ආනයේ නොයෙකුත් තැන්හි ප්‍රකාශ වූවත් තව්රාත් පහළ වූයේ මූසා නබි තුමාට යැයි කුර්ආනයේ ප්‍රකාශ වූයේ නැත. නමුත් මේ සඳහා හදීස්වල සාධක දක්නට ලැබේ.

(තව්රාත් ගැන වැඩි විස්තර දැන ගැනීමට පටුනේ ප්‍රතිපත්තිය යන මාතෘකාවේ “ධර්ම ග්‍රන්ථය” නමැති උප මාතෘකාව හා 491 වන සටහන බලන්න)

තාලුත්

දාවූද් නබි තුමා සාමාන්‍ය යුද සෙබළෙකු ව සිටින විට සර්ව බලධාරී දෙවියන් විසින් පත් කරනු ලැබූ රජතුමා තාලුත් ය. මෙතුමාගේ නායකත්වය යටතේ ජාලුත් නමැති දුෂ්ටයා පරාජය කරනු ලැබීය. (අල් කුර්ආන් 2:247- 249)

තුබ්බඃ

තුබ්බඃ යන නමින් ජන සමාජයක් සිටි බවත් ඔවුහු අපරාධ කළ බැවින් විනාශ කරනු ලැබූ බවත් කුර්ආනය පවසයි. ඔවුන් ගැන අමතර විස්තර කිසිවක් ප්‍රකාශ වූයේ නැත. (අල් කුර්ආන් 44:37, 50:14)

දාවුද්

මෙතුමා ද ධර්ම දූතයින්ගෙන් කෙනෙකි. මෙතුමා සුලෛමාන් නබි තුමාගේ පියා ද වේ. ක්‍රිස්තියානිවරු මෙතුමාට දාවිද් රජු යැයි පවසති.

(දාවූද් නබි තුමා ගැන වැඩි විස්තර සඳහා පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ “නබිවරු” නමැති අනු මාතෘකාව බලන්න)

දුල් කර්නයින්

මෙතුමා අති විශාල අධි රාජ්‍යයක් පාලනය කළ යහපත් රජ කෙනෙක් යැයි පරිශුද්ධ වූ අල් කුර්ආනය පවසයි.

මෙතුමා ගැන කුර්ආනයේ 18:83 සිට 18:98 දක්වා ප්‍රකාශ වී ඇත.

දුල් කිෆ්ල්

මෙතුමා ධර්ම දූතයින්ගෙන් කෙනෙක් වේ. මෙතුමා ගැන 21:85, 38:48 ආදී වැකි දෙකෙහි පමණක් පරිශුද්ධ වූ අල් කුර්ආනය සඳහන් කරයි. මෙතුමා ගැන අමතර විස්තර කිසිවක් නැත.

නබිවරු

නබි යන වචනයේ අර්ථය දැනුම් දෙන්නා යන්නයි. ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව “සර්ව බලධාරී දෙවියන් වෙතින් පණිවුඩ ලබා ගෙන ජනතාවට දැනුම් දෙන්නා” යනුවෙන් අර්ථවත් වේ.

නබිවරු කොපමණ දෙනෙක් ද යන්න ගැන පරිශුද්ධ වූ අල් කුර්ආනයේ හෝ නබි නායක (සල්) තුමාණන්ගේ අනුශාසනා වල හෝ සඳහන් වී නැත.

නබිවරු හා රසූල්වරු යනු දෙවැදෑරුම් සුදුසුකම් ලබන අය වෙතියි සමහරු පවසති. මෙය සාධක වලින් තොර කරුණකි.

(මේ ගැන සවිස්තරාත්මක තොරතුරු සඳහා පටුනේ “ඉතිහාසය” යන මාතෘකාව ද ප්‍රතිපත්තිය යන මාතෘකාවේ “නබි වරුන් ගැන විශ්වාස කිරීම” නමැති උප මාතෘකාව ද බලන්න. තව ද 398 වන සටහන ද බලන්න)

නූහ්

මෙතුමා ධර්ම දූතයින්ගෙන් කෙනෙක් වේ. මෙතුමා ඉතා ආරම්භ කාලයේ දී එවනු ලැබූ ධර්ම දූතයෙක් වේ. කුර්ආනයේ ප්‍රකාශ වූ නබිවරුන්ගෙන් ආදම්, ඉද්රීස්, හැර අනෙක් සියලූ නබිවරුන්ටත් මෙතුමා පුරෝගාමීයෙක් විය. මෙතුමා වසර 950 ක් ජීවත් විය.

(නූහ් නබි තුමා ගැන වැඩි විස්තර සඳහා පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ “නබිවරු” නමැති උප මාතෘකාව බලන්න.)

බාබිල් නුවර

පරිශුද්ධ වූ අල් කුර්ආනයේ මෙම නගරය ගැන 2:102 වැකියේ පමණක් ප්‍රකාශ වී ඇත. මෙය පිහිටා තිඛෙන්නේ කොහේ ද යන්නෙහි මත භේද ඇත. බහුතරයක් අය මෙය ඉරාකයේ පිහිටි නගරයක් යැයි පවසති.

බෛතුල් මඃමූර්

මෙහි දිනපතා සුර දූතවරු හැත්තෑ දහසක් සලාතය ඉටු කරන බවත් එක් වතාවක් සලාතය ඉටු කළ අය නැවත වතාවක් ඒ දේවස්ථානයට නොයන බවත් මෙය හත් වන අහසේ පිහිටා තිඛෙන බවත් නබි නායක (සල්) තුමාණන් පවසා ඇත. (බුහාරි 3207 බලන්න.)

මෙම දේවස්ථානය කඃබාවට සෘජුව ඉහළින් පිහිටා තිඛෙන බවට ඇතැම් හදීස් ඇත. නමුත් ඒවා සාධක වලින් තොර දුර්වල හදීස් වේ. තව ද පෘතුවිය භ්‍රමණය වන බැවින් සෑම විටක ම කඃබාවට සෘජුව ඉහළින් බයිතුල් මඃමූර් තිබිය නොහැකිය.

මද්යන්

මෙම නගරය ෂුඅයිබ් නබි තුමා ජීවත් වූ නගරයයි. මේ නගරයේ ජනතාව කිරුම් මිනුම් වල වංචා කරන්නන්ව ද බහු දේව විශ්වාසිකයන් ව ද සිටිය හ. මොවුහු අවසානය දක්වා ම ශිෂ්ට සම්පන්න නොවූ නිසා විනාශ කරනු ලැබූහ.

(මේ ගැන වැඩි විස්තර සඳහා පටුනේ ඉතිහාසය නමැති මාතෘකාවේ “නබිවරු (ෂුඅයිබ්)” නමැති අනු මාතෘකාව ද “ස්ථාන” නැමති අනු මාතෘකාව ද බලන්න.)

මර්යම්

මෙතුමිය ඊසා නබි තුමාගේ මව ය. ක්‍රිස්තියානිවරු මෙතුමියට මරියා, මේරි යැයි පවසති. මෙතුමිය පරිශුද්ධ වූ අල් කුර්ආනයේ අතිශයින් ම උසස් කොට ප්‍රකාශ කරනු ලබන කාන්තාවකි.

(මර්යම් තුමිය ගැන අමතර විස්තර සඳහා පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ “සත් පුරුෂයෝ – අසත් පුරුෂයෝ” නමැති මාතෘකාව බලන්න.)

මන්නු, සල්වා

මන්නු, සල්වා යනු සර්ව බලධාරී දෙවියන් මූසා නබි තුමාගේ ජන සමාජයට අහසින් පිරිනැමූ විශේෂ ආහාර වර්ග දෙකකි. මේ ආහාර මොනවා ද යන්න ගැන පරිශුද්ධ වූ අල් කුර්ආනයේ හෝ නබි වදන් වල හෝ තොරතුරු කිසිවක් ප්‍රකාශ වූයේ නැත. නමුත් මන්නු නමැති ආහාරය හතු වර්ගයට අයත් වන බව නබි නායක (සල්) තුමාණන් ප්‍රකාශ කර ඇත. (බුහාරි 4478, 4639, 5708 බලන්න.)

ඒ ආහාර මොනවාදැයි දැන ගැනීමෙන් කිසිඳු යහපතක් නැත. සර්ව බලධාරී දෙවියන් තම සන්නිධානයෙන් විශේෂයෙන් එම ජන සමාජයට ආහාර දුන් බව පමණක් දැන ගැනීම ප්‍රමාණවත් ය. (පරිශුද්ධ වූ අල් කුර්ආන් 2:57, 7:160, 20:80)

මනාත්

නබි නායක (සල්) තුමාණන්ගේ කාලයේ ජීවත් වූ බහු දේව විශ්වාසිකයන් නැමදුම් කරමින් සිටි ප්‍රතිමා වලින් එක් ප්‍රතිමාවක නම මනාත් ය. (අල් කුර්ආන් 53:20)

මෂ්හරුල් හරාම්

මෂ්හරුල් හරාම් යනු මක්කාවෙන් පිටත මුස්තලිෆා නමැති පිටියේ පිහිටි එක් කන්දක නමකි. (අල් කුර්ආන් 2:198)

මසීහ්

ඊසා නමැති වචනය බලන්න.

මස්ජිදුල් හරාම්

කඃබාව නමැති වචනය බලන්න.

මීකායීල්

මීකායීල් යනු එක් සුර දූතයෙකුගේ නමකි. මොහු ජිබ්රීල්ට අනතුරුව වැදගත් කොට සඳහන් කරනු ලබයි. නමුත් මොහුගේ රාජකාරිය ගැන කිසිඳු අමතර තොරතුරක් ප්‍රකාශ වූයේ නැත. (අල් කුර්ආන් 2:98)

මුස්ලිම් – මුස්ලිම්වරු

මුස්ලිම් යන නම උපතට අනුව ලැඛෙන නමක් නොවේ. ඒ නම යම් කෙනෙකුට ලැඛෙන්නේ ඔහුගේ හැසිරීම තුළින් ය.

ඉස්ලාමීය විශ්වාසයට අනුව මෙහි අර්ථය “අල්ලාහ් අනිවාර්යය කළ දේ ක්‍රියාත්මක කර, අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී, අල්ලාහ්ට අවනත වූ තැනැත්තා” යන්නයි.

මෙම වචනය නබි නායක (සල්) තුමාණන්ගේ ජන සමාජයට පමණක් නොව එතුමාණන්ට පෙර පැමිණි ධර්ම දූතවරුන් පිළිගෙන අල්ලාහ්ට අවනත වී කටයුතු කළ අයටත් භාවිත වී ඇත. එබැවින් මෙම වචනය පරිවර්තනය නොකර සියලූ තැන්හි මුස්ලිම් යනුවෙන් ම සඳහන් කළෙමු.

අමතර විස්තර දැන ගැනීමට 295 වන සටහන බලන්න.

මූසා

පරිශුද්ධ වූ අල් කුර්ආනයේ බොහෝ තැන් හි වැඩි වශයෙන් සඳහන් කරනු ලබන ධර්ම දූතයා වේ. එතුමා ෆිර්අවුන්නමැති දුෂ්ටයාට එරෙහි ව ප්‍රචාරය කළේ ය. අල්ලාහ් මූසා නබි තුමා සමඟ සෘජුව ම සම්භාෂණය කර ඇත. ක්‍රිස්තියානිවරු මෙතුමාට මෝසෙස් යැයි පවසති.

(මූසා නබි තුමා ගැන අමතර විස්තර දැන ගැනීමට පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ “නබි වරු” නමැති අනු මාතෘකාව බලන්න)

යඃකූබ්

ඉස්රායීල් නමැති වචනය බලන්න.

යඃජූජ් මඃජූජ්

මෙය එක් පිරිසකගේ නමකි. මෙම පිරිස දුල් කර්නයින් නමැති පාලකයාගේ කාලයේ බොහෝ අකටයුතුකම් සිදු කරමින් සිටියහ. කඳු දෙකක් ඔබ්ඛෙන් තබා ඒ දෙක අතර යකඩ බිත්තියක් බැඳ ඔහු විසින් ඔවුන් හිර කර තැබු බව පරිශුද්ධ වූ අල් කුර්ආනය පවසයි. (අල් කුර්ආන් 18:94, 21:96)

අමතර විස්තර දැන ගැනීමට 451 වන සටහන බලන්න.

යස්රිබ්

නබි නායක (සල්) තුමාණන් මක්කාවෙන් නෙරපා දමනු ලැබීමෙන් පසුව රැකවරණය ලැබූ නගරයේ නම යස්රිබ් ය. (අල් කුර්ආන් 33:31)

නබි නායක (සල්) තුමාණන් ඒ නගරයේ ප්‍රසිද්ධිය හා බලය ලැබීමෙන් පසුව මදීනතුන් නබි (නබි තුමාණන්ගේ නගරය) යනුවෙන් නම වෙනස් කළහ. පසුව මදීනා යැයි එය කෙටි විය.

යහ්යා

මෙතුමා සකරිය්යා නබි තුමාගේ පුත්‍රයා ද ධර්ම දූතයෙක් ද වේ. මෙතුමා සකරිය්යා නබි තුමාගේ මහලූ වියේ දී උපත ලැබීය. යුදෙව්වරු හා ක්‍රිස්තියානිවරු මෙතුමාට යොහන් යැයි පවසති.

(යහ්යා නබි තුමා ගැන වැඩි විස්තර දැන ගැනීමට පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ නබිවරු නමැති උප මාතෘකාව බලන්න. තව ද 467 වන සටහන ද බලන්න)

යූසුෆ්

මෙතුමා ධර්ම දූතයින්ගෙන් කෙනෙක් වේ. මෙතුමාට අනෙක් ධර්මදූතවරුන්ට වඩා විවිධාකාර සුවිශේෂතාවන් ඇත.

පරම්පරාවෙන් හා කුලයෙන් ඉතා විශිෂ්ට කෙනෙක් සිටිය යුතු නම් ඒ සඳහා ප්‍රථම සුදුසුකම ලබන්නේ මෙතුමා ය.

මෙතුමා ද ධර්ම දූතයෙකි. මෙතුමාගේ පියා යඃකූබ් යනුවෙන්

හඳුන්වනු ලබන ඉස්රායීල් තුමා ය. මෙතුමා ද ධර්ම දූතයෙකි. එතුමාගේ පියා ඉස්හාක් තුමා ය. එතුමා ද ධර්මදූතයෙකි. එතුමාගේ පියා ඉබ්‍රාහීම් ය. එතුමා ද ධර්ම දූතයෙකි. මෙම අදහස දරන නබි වදන් ද ඇත. (බුහාරි 3382, 3390, 4688 බලන්න)

පරිශුද්ධ වූ අල් කුර්ආනයේ කුඩා වියේ සිට සවිස්තරාත්මකව ඉතිහාසය ප්‍රකාශ කරන ලද්දේ මෙතුමාගේ ඉතිහාසයයි. යූසුෆ් යන නමින් සඳහන් වන පරිච්ඡේදයේ බහුතරයක් ම මෙතුමාගේ ඉතිහාසයෙන් පිරී ඇත. මෙතුමාගේ ඉතිහාසයට අලංකාර ඉතිහාසය යනුවෙන් අල්ලාහ් වර්ණනා කරයි.

මෙතුමා ගැන දැන ගැනීමට වෙහෙස මහන්සි විය යුතු නැත. යූසුෆ් නමැති (12 වන) පරිච්ඡේදයේ එක ම තැනෙහි මෙතුමාගේ ඉතිහාසය සවිස්තරාත්මකව ප්‍රකාශ වී තිබීම දැක ගත හැකිය.

යූනුස්

මෙතුමා ද ධර්ම දූතයින්ගෙන් කෙනෙක් වේ. මෙතුමාගේ ජන සමාජය දරුණු ලෙස විරෝධය පෑවත් සර්ව බලධාරී දෙවියන්ගේ දඬුවම පහළ වීමේ සලකුණු දුටු විගස ම ඔවුහු ශිෂ්ට සම්පන්න වූ හ. සලකුණු දුටු විගස ම තමන් නිවැරදි කර ගත් වෙනත් කිසිඳු ජන සමාජයත් නොවීය. මෙතුමාට නොදන්වා ම සර්ව බලධාරී දෙවියන් මෙතුමාගේ ජන සමාජය ආරක්ෂා කළ බැවින් මෙතුමා සර්ව බලධාරී දෙවියන් කෙරෙහි කෝප වී ගියේ ය. එබැවින් සර්ව බලධාරී දෙවියන් එතුමාට දඬුවම් කළේ ය.

(යූනුෆ් නබි තුමා ගැන වැඩි විස්තර දැන ගැනීමට පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ “නබිවරු” යන උප මාතෘකාව බලන්න.)

රුකුඋ

මෙහි අර්ථය පහත් වීමයි. ඉස්ලාමීය ව්‍යවහාරයේ සලාතයේ නැමී මද වේලාවක් සිටිමින් ප්‍රකාශ කළ යුතු දේ ප්‍රකාශ කිරීම රුකුඋ යැයි කියනු ලැබේ. පහත් වීම යන අර්ථයෙන් ද සලාතයේ එක් ඉරියව්වක් යන අර්ථයෙන් ද පරිශුද්ධ වූ අල් කුර්ආනයේ මෙම වචනය භාවිත වී ඇත. ඒ ඒ තැන් වල අර්ථකථනය කරන්නේ කෙසේ ද යන්න මදක් කල්පනා කළහොත් සොයා ගත හැකිය.

රූහ්, රූහුල් කුදුස්

සුර දූතවරුන්ගේ නායකයා වශයෙන් දිදුළන්නේ ජිබ්රීල් නමැති සුරදූතයා ය. මොහු පරිශුද්ධ වූ අල් කුර්ආනයේ විවිධ නම් වලින් හඳුන්වනු ලබයි. රූහ් යනුවෙන් ද රූහුල් කුදුස් යනුවෙන් ද හඳුන්වනු ලබයි. රූහ් යන්නෙහි අර්ථය ප්‍රාණයයි. රූහුල් කුදුස් යන්නෙහි අර්ථය පරිශුද්ධ ප්‍රාණය යන්නයි.

(මොහු ගැන පටුනේ ප්‍රතිපත්තිය නමැති මාතෘකාවේ “සුර දූතවරුන් ගැන විශ්වාස කිරීම (ජිබ්රීල්)” නමැති උප මාතෘකාවේ බලන්න.)

ලාත්

නබි නායක (සල්) තුමාණන්ගේ කාලයේ ජීවත් වූ බහු දේව විශ්වාසිකයන් නමස්කාර කළ ප්‍රතිමා වලින් එක් ප්‍රතිමාවක නමකි, ලාත්. (අල් කුර්ආන් 53:19)

ලුත්

මෙතුමා ධර්ම දූතවරුන්ගෙන් කෙනෙකි. මෙතුමා ඉබ්‍රාහීම් නබි තුමාට සමකාලීනව ජීවත් විය. නමුත් මෙතුමා වෙනත් ප්‍රදේශයක ධර්ම දූතයෙක් ලෙස පත් කරනු ලැබීය.

මෙතුමාගේ ජන සමාජය බහු දේව විශ්වාසයේ ඇලී ගැලී සිටියා පමණක් නොව පුරුෂයින් සමලිංගික සේවනයේ යෙදීමට ද පුරුදු ව සිටියහ. මෙතුමා ඔවුන් යහ මගට යොමු කිරීම පිණිස එවනු ලැබීය.

(මෙතුමා ගැන අමතරව දැන ගැනීමට පටුනේ ඉතිහාසය නමැති මාතෘකාවේ “නබිවරු” නැමති උප මාතෘකාව බලන්න.)

වහී

වහී යන්නෙහි අර්ථය දැන්වීම ය. ඉස්ලාමීය ව්‍යවහාරයේ වහී යනු දෙවියන් තමා ප්‍රකාශ කිරීමට අදහස් කරන පණිවුඩ තම වහලූන්ට දැන්වීම වේ.

(මේ ගැන අමතර විස්තර දැන ගැනීමට විග්‍රහය කොටසේ 359 වන සටහන බලන්න.)

ෂුඅයිබ්

මෙතුමා ධර්ම දූතයින්ගෙන් කෙනෙක් වේ. මෙතුමා ඒක දේව ප්‍රතිපත්තිය ප්‍රචාරය කළ අතර මෙතුමාගේ ජන සමාජයේ පැවති ආර්ථීක සූරා කෑම ද කිරුම් මිනුම්හි වංචා කිරීම ද හෙළා දකිමින් ප්‍රචාරය ගෙන ගියේ ය.

(මෙතුමා ගැන පටුනේ ඉතිහාසය නමැති මාතෘකාවේ “නබිවරු” නමැති අනු මාතෘකාවේ බලන්න.)

ෂෛතාන්

ඉබ්ලීස් නමැති වචනය බලන්න.

සෆා – මර්වා

මේ දෙක ම මක්කාවේ පිහිටා තිඛෙන කඳු ගැටයන් ය. මෙම කාන්තාරය නගරයක් ලෙස බිහි වීමට පෙර ප්‍රථම වරට ඉබ්‍රාහීම් නබි තුමා තම භාර්යාවත් අත දරුවා වන ඉස්මායිල් තුමාවත් දේව අණ පරිදි මෙහි පදිංචි කරවීය.

එවිට දරුවා පිපාසයෙන් පෙළීමේ දී ඉස්මායිල් තුමාගේ මව මේ කඳු ගැට දෙක මත මෙතැනින් එතැනට ද එතැනින් මෙතැනට ද දුවමින් නගිමින් මොනයම් හෝ වෙළඳ කණ්ඩායමක් ගමන් කරන්නේ දැයි සොයා බැලූවා ය. ඔවුන්ගෙන් ජලය රැගෙන දරුවාගේ පිපාසය සංසිඳුවන්නට අදහස් කළා ය.

ඒ අතර දී අල්ලාහ් දරුවා සිටි ස්ථානයේ අරුම පුදුම උල්පතක් ඇති කළේ ය. (බුහාරි 3364, 3365)

කොපමණ වසරක් ගත වූවත් නශ්‍ය නොවන ස්වභාවයක් මෙම ජලයට ඇත. මෙයින් ලක්ෂ 30 කටත් අධික ජන සංඛ්‍යාවක් එදිනෙදා භාවිත කළත්, ජල පුරවනයන්හි (කෑන්වල) ජලය පුරවා තම ගම්බිම් වලට රැගෙන ගියත් එය දිගට ම ජලය උනමින් ම පවතී. ඉස්ලාම් සැබෑ ධර්මයක් වන බවට සාක්ෂි දරමින් සිටියි.

මේ ගැන තව විස්තර දැන ගැනීමට 438 වන සටහන බලන්න.

ඒ කඳු ගැට දෙක අතර ඉස්මායීල්ගේ මව දිව ගියාක් මෙන් හජ් ඉටු කරන අය දුවමින් ඒ පරිත්‍යාගයට ගෞරව කළ යුතුය. කාන්තාවක් හුදෙකලාවේ කාත් කව්රුත් නොමැති එළි මහනක නතර වී සිදු කළ පරිත්‍යාගයට සර්ව බලධාරී දෙවියන් ගෞරව කර එතුමියමෙන් ම ඒ කඳු දෙක අතර අපටත් දුවන්නට සලස්වා ඇත. (අල් කුර්ආන් 2:158)

සකාත්

සර්ව බලධාරී දෙවියන් අමතක කොට මිනිසා ගැන සිතන්නැයි සමහරු පවසති. නමුත් ඉස්ලාම් සම්බන්ධයෙන් නම් මෙසේ කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකිය. මන්දයත්, මිනිසාට උදව් උපකාර කිරීම පංච මහා යුතුකම් වලින් එක් යුතුකමක් සේ ඉස්ලාම් අවධාරණය කර ඇත.

සිවුපාවුන්, කෘෂි නිෂ්පාදන, නිධාන, මුදල්, රන් ආභරණ හා වෙනත් දේපළ වලින් නියමිත ප්‍රමාණයක් සතු අය නියමිත ප්‍රතිශතයක් නියමිත කටයුතු සඳහා පිරිනැමීම සකාතය නම් වේ.

එමෙන් ම කෘෂි නිෂ්පාදන හා බෝග ද්‍රව්‍ය වලින් ජලය සපයා වැවෙන දැයින් සියයට පහක් අස්වනු නෙලන දින පිරිනැමිය යුතුය. ජලය නොසපයා වැසි ජලයෙන් කරන ගොවිතැනෙන් වැවෙන දැයින් සියයට දහයක් ද අස්වනු නෙලන දින පිරිනැමිය යුතුය. කුණු වන ද්‍රව්‍ය පමණක් විශේෂ නියමයක් ලබයි.

එළුවන් හතළිහක්, ගවයින් තිහක්, ඔටුවන් පහකට වඩා තබා සිටින අය ඒ සඳහා නියම කරන ලද දැය දිය යුතුය. (උදාහරණයක් වශයෙන් එළුවන් හතළිහක් වෙනුවෙන් එක් එළුවෙක්)

ඉස්ලාමීය රාජ්‍යයක් නම් අනිවාර්යයෙන් ම සකාත් රැස් කරනු ලැබේ. (අල් කුර්ආන් 9:103)

සකාතය ගැන අවධාරණය කරන දේව වැකි රැසක් ඇත.

සකාත් සම්බන්ධයෙන් සෙසු නීති දක්නට ලැඛෙන්නේ නබි වදන් වල ය.

සකාතය යනු අනිවාර්යය යුතුකමක් වන දානයකි. මේ හැර අමතරව අප විසින් ස්ව කැමැත්තෙන් දෙනු ලබන දානයන් සදකා යැයි කියනු ලැබේ. පරිශුද්ධ වූ අල් කුර්ආනය ඒ ගැන ද බොහෝ තැන්හි උනන්දු කරවයි.

(සකාතය ගැන වැඩි විස්තර පටුනේ නැමදුම් යන මාතෘකාවේ බලන්න.)

සකරිය්යා

මෙතුමා ද ධර්ම දූතයින්ගෙන් කෙනෙකි. මෙතුමා ඊසා නබි තුමාගේ මව වන මර්යම් තුමිය හදා වඩා ගත් තැනැත්තා වන බවට පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සාධක තිඛෙන බැවින් වසර දෙදහසකට පමණ පෙර එවන ලද ධර්ම දූතයෙක් යැයි කිව හැකිය.

යුදෙව්වරු මෙතුමා ඝාතනය කළ බව කියනු ලැබේ. යුදෙව්වරු මෙතුමා ලූහු බඳිමින් පැමිණි විට ගසක් වෙත ආරක්ෂාව පැතූ බවත් ගස දෙබෑ වී එතුමා ඇතුලේ සඟවා ගත් බවත් ඇඳුම පිටතට පෙනුණු නිසා එතුමා ගසත් සමඟ දෙකට කපා ඝාතනය කළ බවත් ප්‍රබන්ධයක් ඇත.

යුදෙව්වරු බොහෝ නබි වරුන් ඝාතනය කළ බව සත්‍යයක් වූවත් ඔවුන් අතර සකරියයා නබි තුමා ද සිටි බවට කිසිඳු හදීසයක් සාධක වශයෙන් නැත. නබි නායක (සල්) තුමාණන් ප්‍රකාශ නොකළ දෙයක් මෙසේ ප්‍රකාශ කිරීම මහා වරදකි.

තව ද එතුමා සිය සමාජයේ වැඩි ගෞරවයක් හා ප්‍රසිද්ධියක් ලබා සිටියේ ය. එතුමාගේ මහලූ වියේ දී එතුමාට දරුවෙක් ඉපදීම ගැන සිතා බලන විට එතුමා ඝාතනය කරනු නොලැබුවේ යැයි සිතීමට බොහෝ ඉඩ ප්‍රස්තා ඇත.

(මෙතුමා ගැන වැඩි විස්තර සඳහා පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ “නබිවරු” නමැති අනු මාතෘකාව බලන්න).

සක්කූම්

සක්කූම් යනු අපාගත වූවන්ට ආහාර වශයෙන් දෙනු ලබන ශාකයේ නමයි.

(මේ ගැන පටුනේ ප්‍රතිපත්තිය යන මාතෘකාවේ “අවසාන දිනය ගැන විශ්වාස කිරීම (නිරය)” නමැති අනු මාතෘකාවේ බලන්න.)

සබූර්

දාවූද් නබි තුමාට පහළ වූ ධර්ම ග්‍රන්ථයේ නම සබූර් වේ. (අල් කුර්ආන් 4:163, 17:55)

සමූද්

සාලිහ් නබි තුමාගේ ජන සමාජයේ නම සමූද් ය. මොවුහු කඳු හාරා ලෙණ් තනා ජීවත් වූ අය වෙති.

(මොවුන් ගැන විස්තර සඳහා පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ “නබිවරු (සාලිහ්)” නමැනි අනු මාතෘකාව බලන්න.)

සලාම්

ශාන්තිය, සන්සුන් බව, සැනසුම යනුවෙන් මෙම වචනය අර්ථවත් වේ. එකිනෙකා හමු වන විට ප්‍රකාශ කරන සුබ පැතුම ඉස්ලාමීය ව්‍යවහාරයේ සලාම් යැයි කියනු ලැබේ.

(මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට විග්‍රහය කොටසේ 159 වන සටහන බලන්න.)

සජ්දා – සුජූද්

මෙහි ශබ්ද කෝෂ අර්ථය යටහත් පහත් බව, බැගෑපත් වීම, යටත් කම යන්නයි. බොහෝ තැන්හි මෙම අර්ථයෙන් භාවිත වී ඇත.

එවැනි තැන් හි යටහත් පහත් බව යැයි සිංහලයට පරිවර්තනය කළෙමු.

බොහෝ තැන්හි සලාතයේ පවතින ඉරියව්වක් ගැන මෙම වචනය හඟවයි. ඒ තැන් හි සජ්දා යනුවෙන් ම සඳහන් කළෙමු.

එනම්, නළල, නාසය, දණ හිස් දෙක, දෙපාහි ඇඟිලි තුඩු, දෑත්හි අත්ල දෙක යනාදිය පොළොවේ වදින සේ පිහිටුවා එකම දෙවියන් වෙනුවෙන් යටහත් පහත් වී එහි ප්‍රකාශ කළ යුතු දේ ප්‍රකාශ කිරීම සජ්දා යැයි කියනු ලැබේ. මෙය සලාතයේ අංගයකි.

සාබිඊන් වරු

ධර්ම දූතවරු නොඑවනු ලැබූ විටදීත් ධර්ම දූතවරුන්ගේ මග පෙන්වීම් හා අනුශාසනා සේන්දු නොවූ විටදීත් සත් පුරුෂයින් ලෙස ජීවත් වන ජන සමාජය සාබිඊන් වරු වෙති.

මෙලොවට සිටිය හැක්කේ එකම එක් දෙවි කෙනෙක් බවත් මිනිසුන් විසින් බිහි කළ දේවල් දෙවියන් විය නොහැකි බවත් ධර්ම දූතයෙක් මගින් අනුශාසනා නොලබා ම සර්ව බලධාරීධාරී දෙවියන් පිරිනැමූ නැණ නුවණ මගින් ම මොවුහු අවබෝධ කර ගනිති.

තව ද නැණ නුවණින් කල්පනා කර බැලීමේ දී තනි මිනිසෙකුට හෝ ජන සමාජයකට හෝ හානිකර දෑ කුමක් ද එAවා සියල්ලෙන් ම වැළකී සිටිති. යහපත් යැයි පෙනෙන දේවල් පිළිපදිති.

මොවුන් විසින් නැමදුම් හා වත් පිළිවෙත් ගැන පමණක් දැන ගත නොහැකිය. එය දැන ගත හැක්කේ ධර්ම දූතවරු හරහා ය. මේ හැර අනෙකුත් කරුණු වල දී නිවැරදි ව කටයුතු කරන ජන සමාජය, සාබිඊන් වරු වෙති.

නබි නායක (සල්) තුමාණන් එවනු ලැබීමට පෙර ගල් පිළිම නැමදීමට ප්‍රතික්ෂේප කර එක ම දෙවියන් ගැන පමණක් විශ්වාස කළ ජන සමාජයක් සිටිය හ. සාබිඊන්වරු මොවුහු ය. සාබිඊන්වරු ගැන වැඩි විස්තර දැන ගැනීමට 443 වන සටහන බලන්න.

සාමිරි

මොහු මූසා නබි තුමාගේ කාලයේ ජීවත් වූ කෙනෙකි. මූසා නබි තුමා සර්ව බලධාරී දෙවියන්ගේ ආරාධනාව පිළිගෙන තූර් කන්දට ගිය විට රන් ආභරණ රත් කර වසු පැටවකුගේ පිළිරුවක් තැනීය. පසුව මෙයයි දෙවියන් යැයි පවසා මූසා නබි තුමාගේ ජන සමාජය නොමග යැවීය.

(මොහු ගැන තව දුරටත් විස්තර දැන ගැනීමට විග්‍රහය කොටසේ 19 වන සටහන බලන්න.)

සාලිහ්

මෙතුමා ධර්ම දූතයින්ගෙන් කෙනෙක් ය. මෙතුමා සමූද් නමැති බලවත් ජන සමාජය යහ මග යොමු කරනු පිණිස එවනු ලැබීය.

(මෙතුමා ගැන දැන ගැනීමට පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ “නබිවරු” නමැති අනු මාතෘකාව බලන්න.)

සිද්රතුල් මුන්තහා

සිද්රත් යනු මසන් ගසයි. මුන්තහා යනු අවසාන සීමාවයි. හය වන අහසේ තිඛෙන ඉතා දැවැන්ත ගසක නමකි, සිද්රතුල් මුන්තහා. (අල් කුර්ආන් 53:14, 16)

මෙම ගසේ සෑම කොළයක් ම ඇතකුගේ කන මෙන් විශාල ය. මෙම ගසේ විවිධ වර්ණ පිහිටා නෙත් පින වූ බව නබි නායක (සල්) තුමාණන් සඳහන් කළහ. (බුහාරි 349, 3207, 3342, 3887)

සුන්දුස්

සුන්දුස් යනු ස්වර්ගවාසීන්ට අඳින්නට දෙනු ලබන පට වස්ත්‍රයක නමකි. (අල් කුර්ආන් 18:31, 44:53, 76:21)

සුලෛමාන්

සුලෛමාන් තුමා ධර්මදූතයින්ගෙන් කෙනෙක් වේ. මෙතුමාගේ පියා දාවූද් (දාවිත් රජ) තුමා ය. එතුමා ධර්ම දූතයෙක් ද රජ කෙනෙක් ද විය. සුෙලෙමාන් (අලෛ) තුමාට පිරිනමන ලද පාලනය අන් කිසිවෙකුට නොපිරිනමන ලද අති දැවැන්ත පාලනයක් යැයි කිව හැකිය.

යුදෙව්වරු හා ක්‍රිස්තියානිවරු මෙතුමාට සාලමෝන් යැයි පවසති.

(මෙතුමා ගැන දැන ගැනීමට පටුනේ ඉතිහාසය නමැති මාතෘකාවේ “නබිවරු” නමැති අනු මාතෘකාව බලන්න.)

සූර්

සූර් යනු කටින් පිඹීමෙන් හඬ නංවන උපකරණයකි.

සර්ව බලධාරී දෙවියන් තමා සතුව තිඛෙන ~සූර්~ මගින් යුගාන්ත මොහොතේ දී පිඹීමට සලස්වයි. පිඹිනු ලැබීමත් සමඟ ලෝකය විනාශ වනු ඇත. නැවත පිඹිනු ලැබීමත් සමඟ විනාශ වූ අය පණ ලැබ නැගිටිති. “සූර් පිඹිනු ලබන විට” යන වචන පෙළ හඟවන්නේ මෙම සිදු වීම් දෙක ය.

විනාශ කිරීම සඳහා සූර් පිඹිනු ලැබීම – 6:73, 36:49, 39:68, 50:20, 69:13-18, 79:6,7

නැවත පණ ගැන්වීමට සූර් පිඹිනු ලැබීම -18:99, 20:102, 23:101, 27:87, 36:51, 36:53, 37:19, 50:42, 74:8-10, 78:18, 79:7, 79:13

(සූර් ගැන පටුනේ ප්‍රතිපත්තිය යන මාතෘකාවේ අවසාන දිනය ගැන විශ්වාස කිරීම නමැති අනු මාතෘකාව බලන්න.)

සෛද්

මෙතුමා නබි නායක (සල්) තුමාණන් විසින් දරුකමට ඇති දැඩි කරන ලද පුත්‍රයා විය. ඉස්ලාමයේ දරුකමට හදා වඩා ගත් පුත්‍රයෙක් නොමැත යන අණ පහළ වීමට පෙර නබි නායක (සල්) තුමාණන්ගේ පුත්‍රයා යැයි මෙතුමා අමතනු ලැබීය. පරිශුද්ධ වූ අල් කුර්ආනයේ නම සඳහන් වන එක ම නබි මිත්‍රයා මෙතුමා පමණි. (අල් කුර්ආන් 33:37)

හජ්

මුස්ලිම්වරුන් අතරින් ශක්තිය තිඛෙන අය ජීවිතයේ එක් වතාවක් හෝ ඉටු කළ යුතු යුතුකම් වලින් එකකි, හජ් නමැති යුතුකම.

නියමිත දිනවල දී මෙය ඉටු කළ යුතුය. මක්කාවට ගොස් කඃබාව වටා කැරකීම, කඃබා භූමිය තුළ සලාතය ඉටු කිරිම, සෆා මර්වා කඳු අතර දිවීම, අරෆා, මුස්තලිෆා, මීනා ආදී තැන් වලට ගොස් එහි ඉටු කළ යුතු කටයුතු ඉටු කිරීම හජ් යැයි කියනු ලැබේ.

හාමාන්

මොහු ෆිර්අවුන් නමැති දුෂ්ට පාලකයාගේ අමාත්‍යවරයෙක් විය. (අල් කුර්ආන් 28:6, 28:8, 28:38, 29:39, 40:24, 40:36)

හාරූත්, මාරූත්

මේ දෙදෙනා ම නබි නායක (සල්) තුමාණන්ට පෙර ජන සමාජයේ හූනියම (කොඩිිවිනය) නමැති විජ්ජාව උගන්වා දුන් අසත් පුරුෂයෝ වෙති. මේ දෙදෙනා ම සුර දූතවරු යැයි සමහරු පවසති. මොවුන්ගේ ක්‍රියාකාරකම් සුරදූතවරුන්ගේ ගුණාංග හා ගති ලක්ෂණ වලට එරෙහි ව පිහිටා තිඛෙන බැවින් මේ දෙදෙනා ම මිනිස් වර්ගයාට අයත් වෙති යැයි පැවසීම නිවැරදි මතය වේ.

(මොවුන් ගැන වැඩි විස්තර දැන ගැනීමට විග්‍රහය කොටසේ සටහන් අංක 395 හා 357 බලන්න.)

හාරූන්

මෙතුමා ධර්ම දූතයින්ගෙන් කෙනෙක් වේ. මෙතුමා හා මූසා නබි තුමා එක්ව නිවුන් දූතවරු ලෙස ෆි ර්අවුන්ගේ පිරිසට එවනු ලැබූහ. (අල් කුර්ආන් 4:163, 5:25, 7:111, 7:142, 7: 150, 7:151, 10:87, 19:53, 20:30, 20:42, 23:45, 25:35, 26:36, 28:34,35, 26:13, 28:34 බලන්න)

හිජ්රත්

හිජ්රත් යන වචනයට පිළිකුල් කිරීම, ඉවත් කිරීම, වැළකී සිටීම යනා දී අරුත් ඇත. ඉස්ලාමීය ව්‍යවහාරයේ හිජ්රත් යනු විශේෂිත පරිත්‍යාගයක් හඟවන වචනයකි.

ඉස්ලාමීය ධර්මයට අනුකූල ජීවත් විය නොහැකි තත්ත්වයක් උදා වුවහොත්, තමන් දරණ ප්‍රතිපත්තිය රැක ගැනීම සඳහා උපන් ගම, ධන දේපළ, ඉඩම් කඩම්, වට පිටාව, බඩු බාහිරාදිය ඇසුරුකම් සියල්ල හැර දමා ඉස්ලාම් අනුගමනය කිරීමට හා ඒ අනුව ජීවත් වීමට ඔබිනා පරිසරයකට සංක්‍රමණය වීම හිජ්රත් යැයි කියනු ලැබේ.

මේ ගැන අමතර විස්තර දැන ගැනීමට 460 වන සටහන බලන්න.

හූද් හූද්

මෙය එක් පක්ෂියෙකුගේ නමකි. සුලෛමාන් නබි තුමාගේ කාලයේ අසල්වැසි රටේ රැජින ගැන රහස් ඔත්තු බලා සුලෛමාන් නබි තුමාට මෙම පක්ෂියා දැන් වූ බව පරිශුද්ධ වූ අල් කුර්ආනය පවසයි. (අල් කුර්ආන් 27:20)

හූද්

මෙතුමා ධර්ම දූතයින්ගෙන් කෙනෙක් වේ. සර්ව බලධාරී දෙවියන්ගේ නිර්මාණයන්හි අසම සම අය වශයෙන් සලකනු ලබන ආද් ජන සමාජය යහ මගට යොමු කිරීමට මෙතුමා එවනු ලැබීය.

හූරුල් ඊන්වරියෝ

ස්වර්ගවාසීන්ගේ ජීවන සහකාරියෝ හූරුල් ඊන්වරියන් යැයි කියනු ලැබේ.

(විග්‍රහය කොටසේ 8 වන සටහන බලන්න)

ෆජ්රු

ෆජ්රු යනු පංච කාල සලාතයන්හි අරුණෝදයේ ඉටු කරනු ලබන පළමු සලාතයේ නමයි. ඇතැම් ස්ථාන වල මෙම වචනය අරුණෝදය පමණක් හඟවයි.

ෆිර්අවුන්

යුදෙව්වරු හා ක්‍රිස්තියානිවරුන් විසින් “ළුරෝන්” යනුවෙන් කියනු ලැබේ.

ෆිර්අවුන් බලසම්පන්න රජෙක් විය.තමා දෙවි කෙනෙක් යැයි තර්ක කළේ ය. තම රටේ සුළුතරයක් වූ ඉශ්‍රායෙල්වරුන්ට වධ හිංසා කළේ ය. ඔවුන්ගෙන් පුරුෂයින් පමණක් සමූල ඝාතනය කළේ ය.

මොහුට ඒක දේව ප්‍රතිපත්තිය පහදා දීමටත් ඔහුගේ වධ හිංසා හා අක්‍රමිකතා වලට එරෙහිව හඬ නැගීමටත් මූසා (මෝසෙස්) හාරූන් (ආරෝන්) යන දෙදෙනා ව සර්ව බලධාරී දෙවියන් දූත වරුන් ලෙස එවීය.

නමුත් ඔහු ශිෂ්ට වූයේ නැත. එබැවින් ඔහු සහ ඔහුගේ සේනාව මුහුදේ ගිල්වා දමනු ලැබූහ. නයිල් ගෙඟ් ගිල්වා දමනු ලැබුවේ යැයි සමහරු ප්‍රකාශ කිරීම කුර්ආනයට පටහැනි ය.

(ෆිර්අවුන් ගැන වැඩි විස්තර සඳහා පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ “සත් පුරුෂයෝ අසත් පුරුෂයෝ” යන උප මාතෘකාව බලන්න.)