සිංහල පද

උපවාසය

සර්ව බලධාරී දෙවියන් අණ කළ එකම හේතුව නිසා අරුණෝදයේ සිට හිරු බැස යන තෙක් ආහාර පාන නොගෙන, ලිංගික ආස්වාදයේ නොනියැළී, ස්වයං පාලනයෙන් සිටීම උපවාසය නම් වේ.

වසරක් පාසා රමළාන් නමැනි මාසය පුරාවට ම මෙසේ උපවාසයේ යෙදීම අනිවාර්ය යුතුකමකි. මේ හැර යම් යම් වැරදි වලට ප්‍රතිකර්ම වශයෙන් ද උපවාසය ප්‍රකාශ වී ඇත.

(මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට පටුනේ නැමදුම යන මාතෘකාවේ “උපවාසය” නමැති උප මාතෘකාව බලන්න.)

කුහකයෝ

නබි නායක (සල්) තුමාණන් තම උපන් ගම වූ මක්කාවෙන් නෙරපා හරිනු ලැබ මදීනා නමැති නගරයේ රැකවරණය ලැබූහ. එහි දී එතුමාණන්ගේ ප්‍රචාරයට යහපත් ප්‍රතිචාර ලැබුණු නිසා බහුතරයක් ජනතාව ඉස්ලාම් ධර්මය වැළඳ ගත්හ. මේ නිසාවෙන් නබි නායක (සල්) තුමාණන්ට පාලන බලයක් ද ලැබුණි.

නබි නායක (සල්) තුමාණන් මදීනාවට පැමිණීමට පෙර පාලනය හා බලය භුක්ති විඳිමින් සිටි සමහරුන් හද පතුලෙන් ඉස්ලාමය පිළිනොගෙන ආත්මාර්ථය සඳහා ද මුස්ලිම්වරුන්ට කරදර පමුණු වීම සඳහා ද ඉස්ලාමය වැළඳ ගත්තා සේ රඟන්නට වූ හ.

මොවුහු මුස්ලිම්වරුන් මෙන් පල්ලියට පැමිණ සලාතයට සහභාගී වෙති, සටන් කිරීම සඳහා සහභාගී වෙති. නමුත් මෙසේ මුස්ලිම්වරුන්ගේ සියලූ වැඩසටහන් වලට මුස්ලිම්වරු මෙන් සහභාගී වූයේ මුස්ලිම්වරුන් ගැන තොරතුරු මක්කාවේ සිටින මුස්ලිම්වරුන්ගේ සතුරන්ට සැපයීම සඳහා ය.

පරිශුද්ධ වූ අල් කුර්ආනය කුහකයන් යැයි සඳහන් කරන්නේ මොවුන් ගැන ය.

(කුහකයන්ගේ නොයෙකුත් කුමන්ත්‍රණකාරී වැඩ ගැන සවිස්තරාත්මකව දැන ගැනීමට පටුනේ ඉතිහාසය යන මාතෘකාවේ “කුහකයෝ” නමැති උප මාතෘකාව බලන්න.)

ධර්ම දූතවරු

මිනිසුන් යහ මගට යොමු කිරීම සඳහා සර්ව බලධාරී දෙවියන් මිනිසුන් අතරින් ම සුදුසු අය තෝරා ගෙන ජිවන ක්‍රමයක් ලබා දී එවීය. මෙසේ එවනු ලැබූ අයට ධර්ම දූතවරු යනුවෙන් ඉස්ලාම් පවසයි.

පළමු මිනිසා සිට අවසාන ධර්මදූතයාණන් වන නබි නායක (සල්) තුමාණන් දක්වා දේව ධර්ම දූතවරු ලෝකයේ විවිධ කොටස් වලට විවිධ භාෂා කථා කරන ජනතාවට යහ මග පෙන්වීම සඳහා එවනු ලැබූහ.

මෙසේ එවන ලද ධර්ම දූතවරුන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ හෝ නබි නායක (සල්) තුමාණන්ගේ සම්මත නබි වදන් වල හෝ සඳහන් වී නැත.

සර්ව බලධාරී දෙවියන් විසින් ධර්ම දූතවරු එක් ලක්ෂ විසි හතර දහසක් එවනු ලැබුහ යනුවෙන් නබි නායක (සල්) තුමාණන් පැවසූ බවට හදීසයක් මුස්නද් අහ්මද් ඇතුළු හදීස් ග්‍රන්ථ කිහිපයක වාර්තා වී ඇත. මෙම හදීසය දැනම් දෙන තෙවන පුද්ගලයා වන අලී බින් යසීද් නැමැත්තා බොරු කියන්නෙක් බවට සැක කරන ලද කෙනෙක් ය. ඔහු දැනුම් දුන් බව පවසන හතර වන පුද්ගලයා වන මූආද් බින් රිෆාආ නැමැත්තා දුර්වල කෙනෙක් ය. එබැවින් මෙය සම්මත හදීසයක් නොවේ.

ධර්ම දූතවරු වශයෙන් එවනු ලබන අය සර්ව ප්‍රාකාරයෙන් ම මිනිසුන් ලෙසින් ම ජීවත් වූ හ. ඔවුහු දූතවරුන් වශයෙන් තෝරා පත් කරනු ලැබූ හෙයින් ඔවුනට දේවත්වය පිරිනමනු නොලැබේ. ඔවුන්ගේ ප්‍රධානත ම විශේෂත්වය වනුයේ සර්ව බලධාරී දෙවියන් වෙතින් ඔවුනට දේව පණිවුඩ ලැබීමයි.

නබිවරු හා රසූල්වරු දෙවැදෑරුම් සුදුසුකම් ලබන අය වෙතියි සමහරු පවසති. මෙය සාධක වලින් තොර වූ මතයකි.

(මේ ගැන සවිස්තරාත්මක තොරතුරු 398 වන සටහනේ දැකගත හැකිය.)

නිරය

නිරය යනු අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයින්ගේ මග අනුගමනය නොකරන ජනතාවට පරලොව විභාගයෙන් පසුව පිරිනමනු ලබන දඬුවමයි.

ඇතැම් වැරදි කළ අය නිරයේ සදාකාලීන ව සිටිති.

මෙම වැරදි හැර සෙසු වැරදි කළ අය සර්ව බලධාරී දෙවියන්ගේ කරුණාවෙන් ක්ෂමා කරනු ලැබුවේ නම් ස්වර්ගයට පිවිසෙති. ක්ෂමා නොකරනු ලැබුවේ නම් තම වැරදි වලට සරිලන පරිදි දඬුවම් භුක්ති විඳීමෙන් පසුව ස්වර්ගයට පිවිසෙති.

(මේ ගැන විස්තර සඳහා පටුනෙහි ප්‍රතිපත්තිය යන මාතෘකාවේ “නිරය” නමැති උප මාතෘකාව බලන්න.)

විශ්වාස කිරීම හා විශ්වාස කළ අය

පරිශුද්ධ වූ අල් කුර්ආනය බොහෝ තැන්හි “විශ්වාස කිරීම,” “විශ්වාස කළ අය” යන වචනය භාවිත කර ඇත.

පොදුවේ විශ්වාස කිරීම යන්න අපි කවර අර්ථයකින් වටහා ගන්නෙමු ද ඒ අර්ථයෙන් මෙම වචනය භාවිත වූයේ නැත.

විශ්වාස කිරීම යනුවෙන් ඉස්ලාම් පවසන්නේ නිශ්චිත කරුණු කිහිපයක් හද පතුලෙන් පිළි ගෙන විශ්වාස කිරීම ය.

ඉස්ලාම් විශ්වාස කිරීම යනුවෙන් පවසන්නේ අල්ලාහ්, සුර දූතවරු, ධර්මදූතවරු, ඔවුනට පිරිනමන ලද ධර්ම ග්‍රන්ථ, පරලොව දිනය, එහි සිදු වන විභාගය, පරලොව දිනයට පෙර සිදු වන කලබැගෑනියන්, සත් පුරුෂයින්ට ලැඛෙන ස්වර්ගය නමැති තිළිණය, අසත් පුරුෂයින්ට ලැඛෙන නිරය නමැති දඬුවම, සොහොන් වළේ වේදනාව, දෛවය යනාදිය ගැන විශ්වාස කිරීම ය.

(මේ ගැන සවිස්තරාත්මක තොරතුරු පටුනේ “ප්‍රතිපත්තිය” නමැති මාතෘකාවේ දැකගත හැකිය.)

සමානයන් කල්පනය කිරීම

මුළු විශ්වය ම මවා ආරක්ෂා කර, පරිපාලනය කරන එක ම සර්ව පවිත්‍ර උත්තරීතර දෙවියන්ට ඉස්ලාම් “අල්ලාහ්” යැයි පවසයි. “අල්ලාහ්ට” සමානව කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත යන්න ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්තියයි.

බොහෝ දෙවිවරුන් සිටින බව විශ්වාස කිරීමත් එක ම දෙවියන් වන අල්ලාහ්ගේ ගුණාංග හා බල පරාක්‍රමයන් අල්ලාහ්ට තිඛෙන සේ අන් අයට තිඛෙන බව විශ්වාස කිරීමත් අල්ලාහ්ට කරන නැමදුම් වත් පිළිවෙත් වලින් එකක් හෝ අන් අයට සිදු කිරිමත් සමානයන් කල්පනය කිරීමක් යැයි ඉස්ලාම් පවසයි.

මෙසේ සර්ව බලධාරී දෙවියන්ට සමානයන් කල්පනය කිරීම, මිනිසුන් කරන වැරදි වලින් අති මහත් වරදක් බවත් මේ ප්‍රතිපත්තියෙන් මිදී නිවැරදි නොවී යම් කෙනෙක් මරණයට පත් වූයේ නම් ඔහුට ක්ෂමාවක් නොමැති බවත් එවැන්නෙක් සදාකාලීනව නිරයේ සිටින බවත් ඉස්ලාම් පවසයි.

(සමානයන් කල්පනය කිරීම පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට පටුනෙහි “ප්‍රතිපත්තිය – අල්ලාහ් ගැන විශ්වාස කිරීම” යන මාතෘකාව බලන්න.)

සලාතය

මුස්ලිම්වරු මත පවරන ලද යුතුකම් වලින් ප්‍රධානත ම යුතුකම සලාතය යි.

සලාතය යනු මද වේලාවක් සිට ගෙනත්, මද වේලාවක් නැමී ගෙනත් මද වේලාවක් නළල පොළොවෙහි තබා ගෙනත් මද වේලාවක් ඉඳ ගෙනත් සෑම ඉරියව්වක දී ම පාරායණා කළ යුතු දේ පාරායණා කර ගෙනත් ඉටු කරනු ලබන නැමදුමකි.

දිනපතා පස් වතාවක් පංච කාලයන්හි සලාතය ඉටු කළ යුතු ම ය. මේ හැර ඔවුනොවුන්ගේ අභිමතයට අනුව තමන්ට අවස්ථාවන් ලැඛෙන සෑම විටෙක ම සලාතය නම් වූ නැමදුම ඉටු කර සර්ව බලධාරී දෙවියන්ගේ කරුණා දයාව ලබා ගත හැකිය.

(මේ ගැන අමතර විස්තර දැන ගැනීමට පටුනෙහි නැමදුම් යන මාතෘකාවේ “සලාතය” නම් වූ උප මාතෘකාව බලන්න.)

සුර දූතවරු

සර්ව බලධාරී දෙවියන්ගේ නිර්මාණයන් හි සුර දූතවරු යනුවෙන් වර්ගයක් සිටින බව පරිශුද්ධ වූ අල් කුර්ආනය පවසයි.

මොවුහු ආලෝකයෙන් නිර්මාණය කරන ලද අය වෙති. මොවුන්ට ස්ත්‍රි පුරුෂ ලිංග භේදයක් නැත. එබැවින් වර්ගයා බෝ නොකරති. ධර්ම දූත වරු මිස අන් අයට මොවුන් දැක ගත නොහැකිය.

එක ම දෙවියන් තනිව ම තම කටයුතු සිද්ධ කර ගැනීමට බල සම්පන්නයෙක් වූවත් සුර දූතවරු නමැති වර්ගයා නිර්මාණය කර ඔවුන්ගෙන් නොයෙකුත් වැඩ ගනියි.

සුර දූතවරුන්ට දේව දූතවරුන් යැයි ද කියනු ලැබේ.

(සුර දූතවරු ගැන අමතර විස්තර දැන ගැනීමට පටුනේ ප්‍රතිපත්තිය යන මාතෘකාවේ “සුර දූතවරු “නමැති උප මාතෘකාව බලන්න.)

ස්වර්ගය හා ස්වර්ගවාසීහූ

මෙලොව සම්පූර්ණයෙන් ම විනාශ කරනු ලැබීමෙන් පසුව සියල්ලෝ ම සර්ව බලධාරී දෙවියන් හමුවේ නතර කරනු ලැබ, විභාග කරනු ලබති. ස්වර්ගය යනු මෙලොවෙහි එක ම දෙවියන් හා ධර්ම දූතවරු පිළිගෙන ඔවුන් පෙන්වා දුන් මාර්ගයේ කටයුතු කළ සත් පුරුෂියන්ට සර්ව බලධාරී දෙවියන් පිරිනමන තිළිණය යි.

ස්වර්ගයට පිවිසෙන කෙනෙක් එහි සදාකාලීනව සිටියි. ප්‍රිය මනාප සියලූ දේ ඔහුට එහි ලැඛෙනු ඇත. දුකක් හෝ අලසකමක් හෝ කරදරයක් හෝ මානසික කැළඹීමක් හෝ නොමැතිව ස්වර්ගයට පිවිසුණු අය ප්‍රමෝදයෙන් සැප සම්පත් භුක්ති විඳිති.

(ස්වර්ගය ගැන මුළු විස්තර දැන ගැනීමට පටුනෙහි ප්‍රතිපත්තිය යන මාතෘකාවේ ~කියාමත් දිනය~ නම් වූ උප මාතෘකාව බලන්න.)